අපි පරිසරය රැක නොගැනීම නිසා ස්වාභාවික ආපදා දිනෙන් දින දරුණු වෙනවා

  👤  3536 readers have read this article !
By mawbima 2017-10-13

පසුගිය වසර කිහිපය පුුරා අඛණ්ඩව ගංවතුර, නායයෑම්, නියඟය වැනි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අපට සිදු වූයේ පරිසරය වෙනුවෙන් සිදු කළ යුතුව තිබූ වගකීම් අප නිසි ලෙස ඉටු නොකළ නිසා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ඇතැම් ඇය වැරැදි දේශපාලන විග්‍රහයන් කරනවා, අපේ ආණ්ඩුව ආවට පස්සේ තමයි මේ නියඟය, ගංවතුරයි කියලා. සෑම ආණ්ඩු කාලයකම මේ රටේ නියඟය තිබුණා. ගංවතුර ආවා. මගේ ජීවිත කාලය තුළ මොනතරම් ගංවතුරට, නියඟයට මුහුණදීලා තියෙනවාද කියලා මං දන්නවා යැයිද ජනාධිපතිවරයා පැවැසීය.
මහනුවර දෙල්තොට, කන්දේතැන්න වැව් පරිශ්‍රයේදී පෙරේදා(11දා) පැවැති ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වූ ජනාධිපතිවරයා, සංවර්ධනය අත්‍යවශ්‍ය වෙනවා සේම නිසි සැලැසුම් සහ පරිසර නීති රීතිවලට අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ රටේ වර්තමානය තත්ත්වය පිළිබඳව කතා කළොත් ප්‍රදේශ ගණනාවක පානීය ජලය නැහැ. එක් පැත්තකින් වසර එකහමාරක දීර්ඝ කාලීන නියඟය මේ තත්ත්වයට දැඩි ලෙස බලපා තිබෙනවා. මේ සුන්දර කඳුකරය අද ඉතාමත් බරපතළ විදියට පරිසර විනාශයට ලක්වෙලා තිබෙන බව ඔබ දන්නවා.
මම අද කොළඹ සිට මේ වැඩසටහනට එන ගමන් මගේ සහෝදරියක් සිටින නිල්ලඹ ප්‍රදේශයේ නිවෙසට ගියා. මීට අවුරුදු 40කට 45කට එහා මම තරුණයෙක් විදියට නිල්ලඹ ඒ ගෙදරට ගියාම ඒ ගෙදර වටේට තිබුණා. උල්පත් හරහා කඳුවලින් පහළට ගලා ගෙන ලස්සන දිය ඇලි. ඒවායින් ජලය ගලා ගෙන යනවා. ඒ ගේ වටේට තිබුණ ජල උල්පත් අද දකින්නට නැහැ. ගෙවී ගිය දශක තුනක හතරක කාලය තුළ මොනතරම් වෙනසක් සිදුවෙලා තිබෙනවාද කියන කාරණය ඉන් පැහැදිලි වෙනවා. මේක තමයි කඳුකරය වගේම මුළු දිවයිනටම බලපාලා තිබෙන ප්‍රධානම ප්‍රශ්නය.

මහවැලි ගඟ වගේම මහ මුහුදට ගලා යන ගංගා ඔයවල් 103ක් අපේ රටේ තිබෙනවා. මේ රටේ හෘදය වස්තුව සේදී යන ආකාරයට තමයි මහපොළොව සෝදා ගෙන මහ මුහුදට වැටෙන්නේ. මේ ගංගාවල්, ඔයවල්, ඉවුරු ආරක්ෂා කිරීම සඳහා රජයේ නිලධාරීන් කරන ක්‍රියාකාරකම් ඔවුන්ගේ වගකීම් ඉෂ්ට කිරීම්. ඒ සියලු කටයුතු වගේම, රටේ පුරවැසියෝ විදියට, පාසල් දරුවෝ විදියට, රාජ්‍ය වේවා රාජ්‍ය නොවන වේවා සැම දෙනාම තම වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතු වෙනවා. මේවා අපි ආරක්ෂා කළේ නැත්නම්, සෝදා පාළු වීම් වැළැක්වූවේ නැත්නම්, පාංශු සංරක්ෂණ කළේ නැත්නම්, ගංගා ඇළ ‍ෙදාළවල් ඉවුරු ආරක්ෂා කළේ නැත්නම් තව අවුරුදු 40ක් 50ක් යන විට මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙයිද? මහ පොළොවක් තිබේද? බොන්න වතුර ටිකක් තිබේද යන අභියෝගය අප හමුවේ තිබෙනවා.

මේ වන විට පාසල් දරුවන් වගේම රටේ සාමාන්‍ය ජනතාව, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඒ සෑම කෙනෙක්ම තේරුම් අරගෙන තිබෙනවා මේ වගකීම් සහ යුතුකම් අප විසින් ඉතාමත්ම ඉහළින් ඉටු කළ යුතුයි කියන කාරණාව. ඒ නිසා මේ ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණය සඳහා වූ වනරෝපා වැඩසටහන ඒ සියලු අංශවල වටිනාකම් සඳහා ඉහළ තක්සේරුවක් ලබාදෙනවා.

හේවාහැට - සරත් උළුවිටිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්