මුස්ලිම් කොංග්‍රසයේ ජබාර් අලි රිය අනතුරකින් මරුට

  👤  3642 readers have read this article !
By mawbima 2017-10-13

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ අම්පාර මධ්‍යම කමිටු ලේකම් ජබාර් අලි මහතා පෙරේදා (11දා) කින්නියා උප්පාරු පාලම මතදී සිදුවූ රිය අනතුරකින් මිය ගිය අතර ඒ මහතා සමඟ ගමන්ගත් තවත් පුද්ගලයකු තුවාල ලබා කින්නියා මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි කින්නියා පොලිසිය පවසයි. ත්‍රිකුණාමලයේ සිට මුතූර් බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වූ අතර අනතුරින් තුවාල ලැබූ ජබාර් අලි මහතා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අලුයම මියගොස් තිබුණි. පිවිතුරු මුස්ලිම් කොංග්‍රසයේ නායක හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහ ලේකම් හසන් අලි මහතාගේ සොහොයුරා වන ජබාර් අලි මහතා සිය මෝටර් රථයෙන් අම්පාරේ සිට කින්නියාවට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ.

පනස් හත්වැනි වියෙහි පසුවන ජබාර් අලි මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආරම්භක සාමාජිකයකු මෙන්ම නින්දවුර් ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයකුද වේ.
මෙම අනතුර පිළිබඳ සැල වීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය පයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. එස්. තවුෆික් ඇතුළු හිටපු පළාත් සභා මන්ත්‍රිවරු රැසක්ම ත්‍රිකුණාමලය මහ රෝහලට පැමිණ සිටියහ. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මධ්‍යම කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් පක්ෂයට විශාල මෙහෙවරක් කළ ජබාර් අලි මහතා මෙසේ හදිසියේ අභාවප්‍රාප්ත වීම මහත් පාඩුවක් වන බවත් ඒ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ශෝකය පළ කරන බවත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon