විරෝධතා ඉදිරිපත් කිරීමට නීතිපතිට කල්දෙයි

  👤  3625 readers have read this article !
By mawbima 2017-10-13

කේ.එස්. උදයකුමාර්

මහනුවර ඓතිහාසික දළදා පෙරහර සඳහා වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනකු මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත් දා දුන් නියෝගයක් අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.

පරිසර හා සොබාදහම් අධ්‍යයන කේන්ද්‍රය මඟින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර ලක්සිරි මහතා ප්‍රකාශ කර සිටින්නේ නීත්‍යනුකූල බලපත්‍ර නොමැතිකම හේතුවෙන් රහස් පොලිසිය මඟින් මෑතකදී අත්අඩංගුවට ගත් අලි ඇතුන් 15 දෙනකු වනජීවී දෙපාර්තමේන්තුව භාරයට පත් කර තිබූ බවයි.

එම අලි ඇතුන් ඔවුන්ගේ අයිතිකරුවන්ට මුදාහළ හැක්කේ එක් එක් අලියා සම්බන්ධයෙන් තනි තනිව පවත්වනු ලබන පරීක්ෂණයකින් පසුව බව ඉකුත් වසරේ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබූ බවද පෙත්සම්කාර සංවිධානය පෙන්වා දෙයි.
එවැනි නියෝගයක් තිබියදී නීතිපතිවරයාගේ එකඟත්වය මත වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි අලි ඇතුන් 15 දෙනකු මහනුවර ඓතිහාසික දළදා පෙරහර සඳහා මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බවත් එම නියෝගය නීතියට පටහැනි බවද පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණය හමුවේ කියා සිටී.
මේ හේතුවෙන් අදාළ අලි ඇතුන් 15 දෙන, මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දුන් නියෝගය ප්‍රතිශෝධනය කොට එය නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon