පැමිණිලිකාර බ්‍රයන් ෂැඩික් සිය බිරියගේ අස්සන වංචනිකව යෙදීමක් ගැන චෝදනා එල්ල වී තිබුණා

  👤  3705 readers have read this article !
By mawbima 2017-10-13

කේ.එස්. උදය කුමාර්

මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර සිටින ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නමැත්තා හට සිය බිරියගේ අස්සන වංචනික ලෙස යෙදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයක් හමුවේ චෝදනා එල්ල වී තිබූ බව ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිඥපති ගොනුකර ඇති නඩුව පෙරේදා (11දා) කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව පෙරේදා විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නැඟූ හරස් ප්‍රශ්නවල සාක්‍ෂිකාර ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නමැත්තා මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා
බටහිර ඕස්ට්‍රේලියානු ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් ප්‍රකාශිත ෂැඩික්ට එරෙහිව ජේ.ඩී.වී. ලිමිටඩ් නමැති නඩු තීන්දුව ගැන ඔබ දන්නවාද?
සාක්‍ෂිකරු - දන්නවා ස්වාමිනී.
ජනාධිපති නීතිඥවරයා
එම නඩු තීන්දුව ඔබ කියවා තිබෙනවාද?
සාක්‍ෂිකරු - නැහැ. මා කියවා නැහැ.
ජනාධිපති නීතිඥවරයා
ඔබ ව්‍යාජ අස්සන් යෙදූ පුද්ගලයකු නිසාද? එය නොකියවා සිටියේ.

සාක්‍ෂිකරු
නඩුව තිබුණේ මට නෙවෙයි. මම කිසිම අවස්ථාවක බිරියගේ අස්සන වංචනිකව යොදා නැහැ.
ජනාධිපති නීතිඥවරයා
එම නඩුවේ පාර්ශ්වකරුවකු ලෙස ඔබව නම් කර තිබුණා නේද?
සාක්‍ෂිකරු
තුන්වැනි පාර්ශ්වකරු ලෙස මා නම් කර තිබුණා.

ජනාධිපති නීතිඥවරයා
තමන්ගේ නොවන අස්සනක් වංචනිකව යෙදීම සම්බන්ධයෙන් ඔබට චෝදනා එල්ල වුණා නේද?
සාක්‍ෂිකරු
ඒක වැරැදියි. බ්‍රයන් ෂැඩික් වෙනුවට ජෙනට් ෂැඩික් කියලා ලිව්වා. එච්චරයි.
ජනාධිපති නීතිඥවරයා
එම අස්සන් යොදන අවස්ථාවේ ඔබ හොඳ ශරීර සෞඛ්‍යයකින් යුතුවද සිටියේ.

සාක්‍ෂිකරු - ඔව්.
ජනාධිපති නීතිඥවරයා
හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටිද්දීම ඔබ බ්‍රයන් ෂැඩික් බව දැන දැනම ජෙනට් ෂැඩික් ලෙස අස්සන් කළා නේද?
සාක්‍ෂිකරු
මම වරදක් කළා. ජෙනට් ෂැඩික් ගේ නියෝජිත බ්‍රයන් ෂැඩික් යනුවෙන් ලිවිය යුතු වුවත් මම බ්‍රයන් ෂැඩික් ලෙස පමණක් ලිව්වා.
ජනාධිපති නීතිඥවරයා _ මීට පෙර ඔබ අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා ඔබ ඔබේ බිරියගේ අස්සනත් බිරිය ඔබේ අස්සනත් යොදන බව?
සාක්ෂිකරු - එවන් දෙයක් මට මතක නැහැ. ඒ අවස්ථාවේ මම අසනීපව අධිකරණයට පැමිණ සිටියේ රෝද පුටුවෙන්.
ජනාධිපති නීතිඥවරයා - ඔබ බොරු සාක්ෂි දෙන්න එපා. ඔය සාක්ෂිය දුන් අවස්ථාවේ ඔබ පැමිණියේ රෝද පුටුවෙන් නෙවෙයි. වෙනත් අවස්ථාවක තමයි ඔබ රෝද පුටුවෙන් අධිකරණයට පැමිණියේ.

මෙම කාරණය සම්බන්ධයෙන්ද සාක්ෂිකරු අධිකරණය හමුවේ බොරු සාක්ෂි ලබා දෙන බව ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.
මෙහිදී විනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරු විත්තිකාර උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට මේ මස 17 වැනිදා සිට ලබන මස 04 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතාලියේ සංචාරය කිරීම සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන මෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැමිණිලිකාර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ සාක්ෂිය අවසන් වනතුරු මෙම ඉල්ලීමට එකඟ විය නොහැකි බව කියා සිටියේය.
මෙම නඩු විභාගය ප්‍රමාද කිරීමට ඉඩදිය නොහැකි බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කෙටි දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.
මෙම ඕස්ට්‍රේලියානු ජාතිකයා විදේශයක සිට පැමිණෙන අයකු බවත් ඔහුට විශාල වියදමක් දැරීමට සිදුවන නිසා මෙම සාක්ෂි විමසීම දීර්ඝ කිරීම අසාධාරණ බවත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරු සඳහන් කළේ විදේශිකයකු වූ පමණින් ඔහුට විශේෂ වරප්‍රසාද සලසා දිය නොහැකි බවයි.
නඩුව ලබන 17 වැනිදා යළි විභාගයට ගැනීමට දෙපාර්ශ්වයේ නීතිඥවරු එකඟ වූහ. විත්තිකරුට විදේශ ගතවීමට අවසර දෙන්නැයි කරන ඉල්ලීම පිළිබඳව එදින සලකා බලන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් යොදා ගෙන පැමිණිලිකාර ඕස්ට්‍රේලියානු ජාතිකයාට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon