විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය නැති කරන්නේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන්

  👤  3569 readers have read this article !
By mawbima 2017-10-13

හර්ෂනී අර්සකුලරත්න

විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය නැති කරන්නේ වෙන කවුරුත් නොව වෛද්‍ය සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් යැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගතය කඩාකප්පල් කොට පන්ති වර්ජනය කරන්නට යැයි ඔවුන්ට අනුබල දෙන මේ ඇතැම් වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් විශාල පාපකර්මයක් සිදු කරගන්නා බවත් මේ පාපයෙන් ඔවුන්ට කිසි දිනෙක මිදෙන්නට නොහැකි බවත් ඇමැතිවරයා පැවැසුවේය.
තමන්ගේ ජීවිත විනාශ කරගන්නේ නැතුව දේශනවලට සහභාගි වී නැවත විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න යැයි තමා විශ්වවිද්‍යාල දරුවන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම එහිදී පැවැසීය.

රජය කිසිවිටෙකත් නිදහස් අධ්‍යාපනය විනාශ නොකරන බවද, මෙරට නිදහස් අධ්‍යාපනය ආරම්භ කළේද එක්සත් ජාතික පක්ෂ රජය සමයේදී සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා විසින් බවද ඇමැතිවරයා එහිදී සිහිපත් කළේය.

රජය තවත් දේශීය වෛද්‍ය විද්‍යාල 3ක් වයඹ, රත්නපුර, මොරටුව යන ප්‍රදේශවල ඉදිරි වසර දෙක තුළ ආරම්භ කරන බවත් රජය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන අතරේ රජයේ ප්‍රතිපත්තියක් වන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන රට තුළ ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් පැවැසුවේය.
වසරකට සිසුන් තුන් හාරසියයක් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට විදෙස් ගතවන බවත් මීට හේතුවී ඇත්තේ උසස් පෙළ සමතුන්ට මෙරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ ඉඩකඩ සීමා වීම යැයිද ඇමැතිවරයා කීය.

පසුගිය වසරේ පමණක් ආයතන 28ක් මඟින් විදෙස් රටවල උසස් අධ්‍යාපනය හැදෑරීමට රුපියල් බිලියන 7000ක් වැය කොට ඇති අතර මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවනවා නම් මේ මුදල මෙරටම ඉතිරි කරගෙන අපේ දරුවන්ට අප රටේම ඉගෙනීමට වාතාවරණයක් උදාවනවා යැයි ද හෙතෙම පැවැසීය.
ඇමැතිවරයා මේ අදහස් පළ කළේ කුරුණෑගල හිරියාල ආසන බල ප්‍රදේශයේ හිරිපිටිය _ අලුත්ගම කලාවන මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරැඹීමේ අවස්ථාවට එක් වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්