රාජ්‍ය සේවක වැටුප 10,000කින් වැඩි කිරීමෙන් විශ්‍රාමිකයන්ගේ වැටුප් විසමතාවක් ඇතිවී තිබෙනවා

  👤  3592 readers have read this article !
By mawbima 2017-10-13

ගලේවෙල _ තිලක් පල්ලේගෙදර

"රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කිරීම නිසා විශ්‍රාමිකයන්ට බරපතළ වැටුප් විසමතාවක් යළිත් ඇතිවී තිබෙනවා" යැයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම භාර අරමුදලේ සභාපති හා පළාත් සභා මන්ත්‍රි නීතිඥ ඩබ්ලිව්. එම්. යසමාන මහතා කියයි.

"2006.01.01 සිට 2015 දක්වා අවුරුදු 10ක් තිස්සේ නොවිසඳී තිබූ විශ්‍රාමිකයන්ගේ වැටුප් විසමතාව ඉවත් කිරීමට පියවර ගැනීම ගැන මේ රජයට ස්තුතිවන්ත වෙනවා. 2016 රාජ්‍ය සේවකයන්ට වැඩි කළ වැටුප් රුපියල් 10,000 අවුරුදු පතා රුපියල් 2,500 බැගින් ඒකාබද්ධ වැටුපට එකතු කිරීමට පියවර ගැනීම ගැන අපි සතුටු වෙනවා. නමුත් එම වැටුප වැඩි කිරීමත් සමඟම රාජ්‍ය සේවකයාත් විශ්‍රාමිකයාත් අතර සියයට සියයක වැටුප් විසමතාවක් යළිත් ඇතිවී තිබෙනවා. මේ නිසා ලක්ෂ 6ක් පමණ වන විශ්‍රාමිකයන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් ලක්ෂ 24ක් පීඩාවට පත්වී සිටිනවා. මේ සඳහා රජයේ අවධානය යොමු කර ඔවුන්ට සහනයක් ලබාදීමට නොපමාව පියවර ගන්නැ"යි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම භාර අරමුදලේ සභාපතිවරයා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ මාතලේ මහත්මා ගාන්ධි අනුස්මරණ ශාලාවේදී පසුගියදා පැවැති 2017 මධ්‍යම පළාත් ජාතික විශ්‍රාමික දින සැමරුම් රැස්වීමකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "රාජ්‍ය සේවකයන්ට ලබා දෙන ජීවන වියදම් දීමනාවෙන් 50%ක් පමණයි විශ්‍රාමිකයන්ට ලබාදෙන්නේ. රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට තිබෙන අවශ්‍යතා එක සමානයි. ඒ නිසා එම දීමනාව අඩු වශයෙන් 75%ක් දක්වාත් ඉහළ දමා විශ්‍රාමිකයන්ට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

බොහෝ විශ්‍රාමිකයන් ජීවත් වන්නේ හුදෙකලාවයි. ඔවුන් දරුවන්ගෙන් අෑත්ව තනියම ජීවත්වන නිසා එම ජීවිත අනාරක්ෂිත වී තිබෙනවා. පසුගිය දිනක මාතලේ ප්‍රදේශයේ නිවෙසක ජීවත්වූ විශ්‍රාමික කාන්තාවක් සාහසිකයකු විසින් ඝාතනය කර තිබෙනවා. ඒ නිසා විශ්‍රාමිකයන්ගේ ආරක්ෂාව සඳහා පළාත් 09ට සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන ලෙසට අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ඔවුන්ගෙන් මුදලක් අයකර ගත හැකියි. විශ්‍රාම වැටුප් සඳහා නිකුත් කළ විශ්‍රාම වැටුප් කුවිතාන්සිය ලබා දෙන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඒ ස½දහා බලධාරීන් පියවර ගෙන නෑ. මේ නිසා විශ්‍රාමිකයන්ගේ වැටුපෙන් අඩුවන හා වැඩිවන මුදල් ප්‍රමාණය ගැන ඔවුන්ට දැනුමක් ලැබෙන්නේ නෑ. එහිදී ඔවුන්ට නොයෙක් ගැටලුවලට මුහුණපෑමට සිදුවෙනවා. අඩු වශයෙන් මාස තුනකට වරක් හෝ එම කුවිතාන්සිය ලබාදීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අග්‍රහාර රක්ෂණ අරමුදලේ ප්‍රතිලාභ විශ්‍රාමිකයා ජීවත්් වන තුරු ලබා දෙන ලෙසටත් ඉල්ලා සිටිනවා" යැයි පැවැසීය.

මේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් අලුවිහාරේ හා රෝහිණී කවිරත්න යන මහත්ම මහත්මීහු සහභාගි වූහ. මෙහිදී විශේෂඥ වෛද්‍ය නවාස් ජිෆ්රි මහතා විසින් විශේෂ දේශනයක්ද කරන ලදී. මාතලේ දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ආෂා අයිරාංගනී යන මහත්ම මහත්මීහුද කතා කළහ. මේ අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් ඇතුළු මධ්‍යම පළාතේ විශ්‍රාමිකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී විශ්‍රාමිකයන්ගේ ගැටලු ඇතුළත් සන්දේශයක් යසමාන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අලුවිහාරේ මහතාට පිළිගන්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්