ඉදිරි මාසවල ශ්‍රී ලංකාවට සුළි කුණාටු අවදානමක්

  👤  3608 readers have read this article !
By mawbima 2017-10-13

ඉෂාරා සිල්වා

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ආරම්භ වීමත් සමඟ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සුළි කුණාටු ඇති වීමේ අවදානමක් තිබෙන බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

විශේෂයෙන්ම අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ආරම්භ වීමත් සමඟ සවස් කාලයේ අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අන්තර් මෝසම් කාලයේ කාලගුණ තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයන්, අඩු පීඩන තත්ත්ව, පීඩන අවපාත සහ සුළි කුණාටුද ඉදිරි කාලයේදී ඇති විය හැකි බවයි. ඒ අනුව දවසේ ඕනෑම වේලාවක වැසි ඇති වන අතර පද්ධතියේ තීව්‍රතාව අනුව සුළගේ වේගය වෙනස් විය හැකි බවද එහි සඳහන් කර ඇත. ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම් ඇති වන අතර එවිටද ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත් මේ දිනවල සවස් කාලයේ සහ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි වැඩිපුර ලැබෙන්නේ ශ්‍රී ලංකාවට එම කලාපයෙන් බලපෑම් ඇති වන නිසා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්