වැඩ වර්ජනයක් අරඹා දුම්රිය මඟීන් පීඩාවට පත් කිරීම කඩාකප්පල්කාරී වැඩක්

  👤  3630 readers have read this article !
By mawbima 2017-10-13

උපතිස්ස පෙරේරා

වැඩ වර්ජක දුම්රිය වෘත්තීය සමිති මඟින් 11 වැනි දින මධ්‍යම රාත්‍රි 12ට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව දැනුම් දී පූර්ව දැන්වීමකින් තොරව එදින පස්වරු 5ට වැඩ වර්ජනයක් අරඹා ලක්ෂ ගණනක් දුම්රිය මගීන් හිරිහැරයට හා පීඩාවට ලක් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි කඩාකප්පල්කාරී ක්‍රියාවක් බැවින් එම සාපරාධී ක්‍රියාව පිළිබඳව පොලිසිය මාර්ගයෙන් විමර්ශනයක් කරන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්. එච්. අබේවික්‍රම මහතාට ඊයේ (12දා) උපදෙස් දුන්නේය.

මේ වන විට ක්‍රියාත්මක දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් අවම කිරීමට කඩිනම් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා ඊයේ පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී පැවැති හදිසි සාකච්ඡාවකදී පැවැසීය.

මගී ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට ශ්‍රී ලංගමය මඟින් කොළඹ සිට පොල්ගහවෙල, අලුත්ගම, ගාල්ල, මීගමුව යන ප්‍රදේශ සඳහා විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් පෞද්ගලික බස් සේවා පුළුල් කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා වර්ජනය අවසන් වන තෙක් මාර්ග බලපත්‍ර නොමැතිව අවශ්‍යතාව අනුව පෞද්ගලික බස් ධාවනයේ යෙදවීමට බස් රථ හිමියන්ට අවසර දී ඇති බවත් ප්‍රකාශ කළේය.
කලින් වෙන් කරන ලද සුඛෝපභෝගී දුම්රිය සේවාවන් සඳහා ශ්‍රී ලංගමයේ වායු සමීකරණය කරන ලද බස් රථ යෙදවීමටත් ඒ සඳහා ලබාගත් දුම්රිය ප්‍රවේශපත් මඟින් එම බස් රථවලින් ගමන් කිරීමටත් අවශ්‍ය පහසුකම් සලසා ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.


මේ අතර ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංගමයේ සියලුම සේවක නිවාඩු අවලංගු කර තිබේ. දුර ගමන් සඳහාද අවශ්‍යතාව මත ශ්‍රී ලංගම හා පෞද්ගලික අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කර තිබේ. සති අන්තයේ සිය ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව තකා මෙම අතිරේක සේවා පැය 24ක් පුරා ක්‍රියාත්මක කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon