තබ්බෝව වන රක්ෂිතයේ හොරෙන් ගස් කපන්න ගිය පිරිසට වෙඩි ප්‍රහාරයක්

  👤  3541 readers have read this article !
By mawbima 2017-10-13

හලාවත - ඔස්ටින් ප්‍රැන්සිස්, කරුවලගස්වැව - සිතුම් ලියනාරච්චි

පුත්තලම - කරුවලගස්වැව - තබ්බෝව වන රක්ෂිතයේදී සියඹලෑව වැව් ඉස්මත්තේදී ඊයේ (12දා) අලුයම් කාලයේදී සිදුව ඇති වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ දෙදෙනකු මියගොස් ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ කරුවලගස්වැව - සියඹලෑව ගම්මානයේ විසූ ජයලත් ආරච්චිලාගේ ලෙස්ලි රොෂාන් (18) සහ පියල් රත්නසිරි (31) නමැති දෙදෙනෙකි.
මියගිය දෙදෙනා තවත් දෙදෙනකු සමඟ නීති විරෝධී ලෙසින් තබ්බෝව වන රක්ෂිතය තුළ ගස් කැපීම පිණිස ඊයේ (12දා) මැදියම් රාත්‍රියේදී රක්ෂිතයට ඇතුළු වී ඇති අතර ඔවුන් සියඹලෑව වැව් ඉස්මත්තේ ගමන් කරමින් සිටියදී එක්වරටම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවත් වනයට ඇතුළු වූ සිවුදෙනාගෙන් දෙදෙනකුට වෙඩි වැදී බරපතළ තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.

දිවි බේරා ගත් දෙදෙනා විසින් වෙඩි වැදී තුවාල ලබා සිටි දෙදෙනා අලුයම 2.00ට පමණ පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මෙම වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ බෝර 12 පතරොම් තුවක්කුවක් වන අතර ඒ අනුව මෙම පිරිස වැව් ඉස්මත්තේ ගමන් කරන අවස්ථාවේදී නීති විරෝධීව වන සතුන් දඩයම් කිරීමට ගොස් ඇති පිරිසක් වෙඩි තබා ඇති බවට සැක කරන බවත් සතුන් යැයි සිතා වෙඩි තැබූ බවට සැකයක් මතු වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියකු කීය.
තබ්බෝව වන රක්ෂිතය තුළ සිදු කෙරෙන නීති විරෝධී ගස් කැපීම සහ වන සතුන් දඩයම් කිරීම ඉහළ ගොස් ඇති නිසා මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇති බවත් පැවැසේ.
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන, පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහත්වරුන්ගේ උපදෙස් මත කරුවලගස්වැව පොලිසිය
පරීක්ෂණ සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්