උප්පැන්න, මරණ, විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරනවා

  👤  3563 readers have read this article !
By mawbima 2017-10-13

පුද්ගලයකුගේ උපත, මරණය හා විවාහය යන මංගල කාරණා තුනේදීම එය නීත්‍යනුකූල කිරීමට සිය සියලු පෞද්ගලික වුවමනා එපාකම් පසෙකලා කැපවී සිටින උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සේවාවේ ගුණාත්මක බව වැඩි කිරීමට රජය කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ පැවැති කොළඹ දිස්ත්‍රික් උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සාංවත්සරික උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
"මෙය ඉතාමත් භාර ධුර කාර්යයක්. දරුවකු උපත ලැබූ විට, විවාහ සිදුවන අවස්ථාවේ වගේම පුද්ගලයකුගේ මරණය සිදුවූ අවස්ථාවේදීද එයට නීත්‍යනුකූල බව ලබා දෙන්නේ රෙජිස්ට්‍රාර්වරු විසින්. මෙය ගරු සේවයක්. මෙහි නිරතව සිටින අය තමන්ගේ සියලු පෞද්ගලික වුවමනා එපාකම් පසෙක දමා නොපැකිළිව ඉතා වගකීමක් සහිතව මේ සේවාව ලබාදෙන්න දක්වන දායකත්වය මා ඉතා අගය කොට සලකනවා. මේ සේවයේ නිරත වූ සියලු දෙනා දැඩි දුෂ්කරතා මධ්‍යයේ තමයි මෙය කරගෙන යන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිසි ඇගයීමක් සිදුවූයේ නැහැ. අපි රජයක් ලෙස මේ ගැන දැඩි අවධානයක් යොමු කරලා මේ සේවාවේ නිරත වූ සියලු දෙනා වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නත් ඒ සේවාව නිසි ඇගයීමකට ලක් කරන්නත් කටයුතු කරනවා. තවත් දෙයක් ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. මේ ලියාපදිංචි කටයුතු ආරම්භ කළේ අධිරාජ්‍ය පාලනය තිබූ කාලයේ සුළු සුළු වෙනස්කම් සිදුවුවත් තවමත් පවතින්නේ ඒ ක්‍රමවේදයන්මයි. මේ සේවාවේ ගුණාත්මක බව වැඩිකරන්නත් රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ වගේම මගේ ස්තූතිය ඔබ සියලු දෙනාට හිමිකර දිය යුතුයි. තමන්ගේ සේවාව සිදුකරන සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කය ලෙසත් සමස්ත ශ්‍රී ලංකාව ලෙසත් එක්ව මේ සේවාව පවත්වාගෙන යෑමට සාමූහිකව කටයුතු කිරීම එමඟින් සේවාව තවත් ශක්තිමත් කරන්නට ඔබටත් හැකියාව ලැබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සේවය අගයමින් තිළිණ ප්‍රදාන කිහිපයක් සිදුකෙරිණි.
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්