හම්බන්තොට ගුටිකෙළි සිද්ධිය රිමාන්ඩ් කර සිටින පිරිස බේරා ගැනීමට රට පුරා සාමකාමී උද්ඝෝෂණ

  👤  3657 readers have read this article !
By mawbima 2017-10-13

හම්බන්තොට සිද්ධියෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු පිරිස නිදහස් කර ගැනීමට ලංකාව පුරා සාමකාමී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කොට තිබේ.

මේ තීරණය ගෙන තිබෙන්නේ තංගල්ල බන්ධනාගාරයේ සිටින නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසේ සුවදුක් බැලීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි පිරිසක් ඊයේ දහවල් තංගල්ල කාල්ටන් නිවෙසට පැමිණ කළ සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සාකච්ඡාවට ගාමිණී ලොකුගේ, රංජිත් සොයිසා, කාංචන විජේසේකර, මාතර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ද සහභාගි වී ඇත. සාකච්ඡාව අතර මැදදී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාද සහභාගි වී තිබේ.

ආණ්ඩුවේ වැරැදිවලට හා ජනතා ද්‍රෝහි ක්‍රියාවලට එරෙහිව සාමකාමී උද්ඝෝෂණවලට සහභාගි වන මන්ත්‍රිවරුන්ගෙන් පළිගන්නා ස්වභාවයකින් පහරදීම් හා රිමාන්ඩ් ගත කරන බවට ඒකාබද්ධ විපක්ෂය අන්තර් පාර්ලිමේන්තු සංගමයටත් ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවලටත් පැමිණිලි කරන බව බන්දුල ගුණවර්ධන මහතා "මව්බිම"ට පැවැසීය.
මේ අතර ලබන 15දා කොළඹදීත් 16දා හම්බන්තොටදීත් උද්ඝෝෂණ පැවැත්වීමටත් බලය අයුතු ලෙස පාවිච්චි කරන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව මානව හිමිකම් කඩ කිරීම යටතේ නඩු පැවැරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon