25දා තෙක් යළි රිමාන්ඩ්

  👤  2414 readers have read this article !
By mawbima 2017-10-12

අමිල අබේරත්න

තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඒ හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.104 මුදලක් වංචාකර ඇමෙරිකානු ඩොලර් 1103960ක මුදලක් (රුපියල් 168905880ක්) මෙරට බැංකු ගිණුමකට ගෙන්වා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙරේදා (10දා) රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ සහ සිද්ධියට සම්බන්ධ අනෙක් ශ්‍රී ලාංකික ව්‍යපාරිකයා මේ මස 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ - කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (11දා) නියෝග කළාය.
එංගලන්තයේ පුරවැසියකු වන ශලීල මුණසිංහ මෙරට පුරවැසිභාවය ලබාගෙන නැති බවද අධිකරණයේදී අනාවරණය විය.
සිද්ධිය ඉතා බරපතළ බව දැනුම් දුන් මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි බන්ධනාගාරගතව සිටියදී චූදිතයන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද අවසර ලබා දුන්නාය.

ලිට්රෝ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තම සේවාදායකයාට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළත් එලෙස නියෝගයක් නිකුත් කිරීමට සුවිශේෂී හේතුවක් නොමැති බව මහෙස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.
වංචාකර මෙරට බැංකුවකට ගෙන්වා ගනු ලැබූ මුදලින් මිලියන 20ක මුදලක් මුදල් බැරවූ ගිණුම හිමි ව්‍යාපාරිකයා වන ජනක චමින්ද නම්මුනි නමැත්තාගෙන් ලිට්රෝ සභාපතිවරයා ලබාගෙන තිබෙන බවද ඔහු විසින් එම මුදලින් මිලියන 15ක් කොළඹ "හිල්ටන් රෙසිඩන්සීස්" හෝටලයේදී ලබාදී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපති සුගත් අමරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය 5 වැනිදා ඉන්දියන් ජාතිකයන් දෙදෙනා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාගේ කාර්යාලයට පැමිණ සභාපතිවරයා සමඟ පැය ගණනක් සාකච්ඡාවේ යෙදී ඇති බවට ලිට්රෝ සමාගමේ සේවකයන්ගෙන් ගත් ප්‍රකාශ මඟින් අනාවරණය වී ඇති බවද හෙතෙම අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.
මේ වන විට ඉන්දියන් ජාතිකයන් දෙදෙනා මෙරටින් පලා ගොස් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිණුම් හිමි ව්‍යාපාරිකයා සහ ශලීල මුණසිංහ යන අය දී ඇති ප්‍රකාශ පරස්පර බවද අධිකරණය හමුවේදී ප්‍රකාශ කළේය.
ශලීල මුණසිංහගේ කීම මත සිද්ධියට සම්බන්ධ වූ බව ව්‍යාපාරිකයා විසින් ප්‍රකාශ කර ඇති බවද එම නිලධාරියා අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.
මෙරට පුරවැසිභාවය නොමැති ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය හිමි තැනැත්තකු බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය. මෙරටින් නිකුත් කළ මැකී ගිය හැඳුනුම්පතක් භාවිත කර මොහු මෙරට බැංකු කිහිපයක බැංකු ගිණුම් ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට පැවැසුවේය.

සිද්ධියේ පළමුවැනි සැකකරුද එංගලන්තයේ සහ මෙරට ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තකු බවද හෙතෙම අධිකරණය හමුවේ ප්‍රකාශ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා සහාය දැක්වීමට ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු සහ තායිවානයේ "ෆා" ඊස්ටන් බැංකුවේ කළමනාකරු මෙරටට පැමිණ සිටින බවද දන්වා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ,
තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකානු ඩොලර් මිලියන 69.5 මුදලක් ජාත්‍යන්තර වශයෙන් වංචා කර ඇති බව සහ එම මුදලින් කොටසක් පමණක් මෙරටට ඒවා ඇති බවය.
මේ මස 25 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්