අර්ජුන රවි කියූ දේ කබීර් මලික් බොරු කරති

  👤  2483 readers have read this article !
By mawbima 2017-10-12

කමල් මහේන්ද්‍ර
වීරරත්න

රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්‍යතාවක් රජයට තිබූ බවට රවි කරුණානායක හා අර්ජුන මහේන්ද්‍රන් කොමිසම හමුවේ සිදුකර ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් බව රජයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම මහත්වරුන් ඊයේ (11දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සිදුකරන ලද ප්‍රකාශවලින් තහවුරු විය.
හිටපු මුදල් ඇමැති රවි කරුණානායක සහ එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් දිගින් දිගටම ප්‍රකාශ කොට සිටි පරිදි රුපියල් බිලියන 75ක හදිසි මුදල් අවශ්‍යතාවක් 2015 පෙබරවාරි වන විට රජයට නොතිබූ බවත් එවැනි අරමුදල් අවශ්‍යතාවක් ගැන 2015 පෙබරවාරි 26 වැනි දින මහ බැංකුවේ පැවැති රැස්වීමේදී කරුණු සාකච්ඡා නොවූ බවත් රජයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු වන කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම මහත්වරු ඊයේ (11දා) මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සිදු කරන ලද ප්‍රකාශවලින් තහවුරු විය.

කොමිසමේ නියමය පරිදි කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ පෙරවරු 10.00ටත් පෙර කොමිසම හමුවට පැමිණ සිටියහ.
කොමිසමේ සභාවාරය ඊයේ ආරම්භ වීමත් සමඟම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ.ටී. චිත්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියේ කොමිසමට සහාය වන නීතිපති දෙපාර්තමේන්තු නීතිඥ මණ්ඩලයේ ඉල්ලීමකින් ද තොරව මෙම අමාත්‍යවරුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවීමට කොමසාරිස්වරුන් වශයෙන් තීරණය කරන ලද්දේ ඔවුන් දෙදෙනාද සහභාගි වූ මහ බැංකුවේ පැවැති රැස්වීමකදී සාකච්ඡා වූ බවට කොමිසම හමුවේ ප්‍රකාශ වී ඇති වැදගත් කරුණු කිහිපයක් තහවුරු කර ගැනීම සඳහා බවය.
ඒ අනුව ප්‍රථමයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගෙන්ද දෙවනුව අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන්ද කොමසාරිස්වරුන් කරුණු විමසා සිටියහ.

සභාපති විනිසුරු
ප්‍ර - 2015 පෙබරවාරි මස 26 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ඔබ සහභාගි වුණාද?
පි - ඔව්. සහභාගි වුණා.
ප්‍ර - ඔබ එයට සහභාගි වූයේ කවුරුන් හැටියටද?
පි - අගමැති රනිල් වික්‍රමසිංහගේ ජේ‍යෂ්ඨ උපදේශක වශයෙන්.
ප්‍ර - කුමන කරුණක් අරබයාද?
පි - ආර්ථික කළමනාකරණ කමිටු රැස්වීමේදී අගමැතිවරයා සඳහන් කළා නව රජය පත්වීමත් සමඟම ඇනහිට ඇති මාර්ග සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවිය යුතු මුදල් ආදිය ගෙවා දැමීමට කටයුතු සම්පාදනය කරන ලෙසට. ඒ අනුව එම ගෙවීම් කටයුතු ඉටුකළ යුතු ආකාරය ගැන සාකච්ඡා කිරීමයි අරමුණ වූයේ.
ප්‍ර - රුපියල් බිලියන 75ක හදිසි අරමුදලක් රැස්කරගත යුතු බවට කරුණු සාකච්ඡා කළාද?
පි - නැහැ ස්වාමිනී, සම්පූර්ණයෙන්ම රුපියල් බිලියන 18ක පමණ අවශ්‍යතාවක් තිබුණේ. එයිනුත් රුපියල් බිලියන 03ක ප්‍රමාණයක් අත තිබුණා.
ඒ නිසා අවශ්‍යතාව වී තිබුණේ රුපියල් බිලියන 15ක මුදලක් පමණයි.
ප්‍ර - භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියකින් එක් රැස්කරගත යුතු යැයි එම සාකච්ඡාවේදී තීරණය වුණාද?
පි- එවැන්නක් සාකච්ඡා වුණේවත් නැහැ. ස්වාමිනී.
ප්‍ර - එක්සත් ජාතික පක්‍ෂයේ මැතිවරණ අරමුදලට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් විසින් මුදල් පරිත්‍යාග කළ බවක් ඔබ දන්නවාද?
පි - මගේ දැනීමේ තරමට මා නම් දන්නේ නැහැ.
ප්‍ර - ඔහුගේ පවුලේ වෙනත් අයකුගෙන් එවැනි මුදල් පරිත්‍යාගයක් කළ බවක් දන්නවාද?
පි - නැහැ ස්වාමිනී. මගේ දැනුවත් භාවයෙන් නම් සිදුවුණේ නැහැ.
ප්‍ර - ඔබලා සහභාගි වූ රැස්වීමට පසු දිනයේ පෙබරවාරි 27 වැනි දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණු බව ඔබ දන්නවාද?
පි - මා දැන සිටියේ නැහැ ස්වාමිනී.
ප්‍ර - මාර්ග සංවර්ධනය සඳහා මහ බැංකුව මුදල් ලබා දුන්නාද?
පි - ස්වාමිනී මහ භාණ්ඩාගාරයෙන් නම් 2015 මාර්තු මස 16 වැනි දින රුපියල් බිලියන 8ක් ලැබුණා. එපමණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්