ඉන්දියානුවෝ පාකිස්තානය අනුකරණය කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ගමන්ගත් බසයට පහර දෙති

  👤  2479 readers have read this article !
By mawbima 2017-10-12

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පෙරේදා අවසන් වූ දෙවැනි විස්සයි-20 තරගය ඕස්ට්‍රේලියානුවන් ජය ගැනීම හේතුවෙන් එයින් වියරු වැටුණු ඉන්දියානු ක්‍රීඩාලෝලීන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ගමන් ගත් බස් රථයට ගල් ප්‍රහාර එල්ල කර තිබේ.

දෙවැනි විස්සයි-20 තරගය පැවැති බර්සපාර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සිට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින ගුවහාතිහි පිහිටි හෝටලය බලා යන අතරතුරදී සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයේ වීදුරුවලට දැඩි හානි සිදුවී ඇති අතර, මේ සිදුවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් බලවත් භීතියට පත්ව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ට තුවාල සිදුවී නොමැති අතර, මේ වනවිට ඔවුන් නවාතැන් ගෙන සිටින හෝටලය අවට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදවා ඇත.
දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ දෙවැනි තරගයෙන් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 8ක ජයක් ලැබීම හේතුවෙන් මේ වනවිට තරගාවලිය 1-1ක් ලෙස සම වී ඇති අතර, මේ නිසා හෙට (13දා) හයිද්‍ර බාද්හි පිහිටි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දැඩි ආරක්‍ෂාවක් යෙදවීමට තීරණය කර ඇතැයිද පැවැසේ.
කෙසේ වෙතත් මෙයට පෙර එනම් 2009 වසරේදී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ අතර, එම ප්‍රහාරයෙන් පසු කිසිදු රටක් මේ වනතෙක් ටෙස්ට්, එක්දින හා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්තානයට ගොස් නැත.

විචිත්‍ර වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon