සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල බොක්සිං හා මේසපන්දු බලය රාජකීයයන්ට

  👤  2409 readers have read this article !
By mawbima 2017-10-12

සගීත් දෙහිපිටිය

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික, අධ්‍යාපන හා ක්‍රීඩා අංශය සංවිධානය කරනු ලබන 33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මේසපන්දු, බොක්සිං සහ එල්ලේ අවසන් තරග පසුගියදා නිමාවට පත්විය. ඒ අනුව වයස් කාණ්ඩ දෙකක් යටතේ පවත්වනු ලැබූ මේසපන්දු තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ බාලක ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය පරාජයට පත් කළ කොළඹ රාජකීය විද්‍යාලයටත් බාලිකා ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල බාලිකා කණ්ඩායම පරාජයට පත්කළ කොළඹ කාන්තා විද්‍යාලයටත් හිමිවිය.

වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය පරාජයට පත් කරමින් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය විසින් හිමිකරගනිද්දී කඩවත මහාමායා විද්‍යාලය පරාජය කළ කොළඹ විශාකා විද්‍යාලය බාලිකා ශූරතාවට හිමිකම් කීවේය. මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ සම්මාන දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ විශාකා විද්‍යාලයේ චමත්සරා ප්‍රනාන්දු සම්මාන දිනාගත්තාය.

මේ අතර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට අදාළව පැවැති බොක්සිං තරගාවලියේදී පළමු ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලය දිනාගනිද්දී හොරණ විද්‍යාරත්න විද්‍යාලයට හිමිවූයේ තරගාවලියේ දෙවන ස්ථානයයි. තරගාවලියේ තුන්වැනි සථානය පිළිමතලාව ධීරානන්ද විද්‍යාලයට හිමිවිය. කොළඹ රාජකීය විද්‍යාලයේ යූ. එම්. නිරන්ජන් කි.ග්‍රෑ. 56 බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කි.ග්‍රෑ. 49 බර පන්තියෙන් තරග වැදුණු කඩුගන්නාව මහ විද්‍යාලයේ ඒ. එස්. බණ්ඩාර හොඳම පරාජිතයා ලෙස සම්මාන හිමිකරගන්නා ලදී. කෙසේ වෙතත් මෙම තරගාවලියට පළමුවරට සහභාගිවූ පේදුරුතුඩුව හාත්ලේ විදුහල් කණ්ඩායමේ බී. විෂ්ණු කි.ග්‍රෑ. 65 බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්