අපි ගැන දැන් අපිට විශ්වාසයි: මේ ජයග්‍රහණය ලොකු පිම්මක්

  👤  2493 readers have read this article !
By mawbima 2017-10-12

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පෙරේදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමඟ දේශීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පිබිදීමක් ඇතිවනවා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. ශේ්‍රණිගත කිරීම්හි 7වැනි ස්ථානයේ සිට 6වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

මේ අනුව ප්‍රථම දිවා-රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායිහිදී ලකුණු 68කින් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් සත්කාරක පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගාවලියද ජය ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම දිවා-රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගයේද නායකයා වන දිනේෂ් චන්දිමාල් කියා සිටියේ මෙම ඓතිහාසික ජයග්‍රහණය ඉදිරි ගමන තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා ලොකු පිම්මක් බවයි. කෙසේ වෙතත් තරගයේ සිවුවැනි දිනයේ රාත්‍රියේදී පැවැති පිනිබර සහිත තත්ත්වය හේතුවෙන් තම දඟපන්දු යවන්නන්ට යම් අවාසි සහගත බවක් තිබූ බවද කී ශ්‍රී ලංකා නායකයා තවදුරටත් කියා සිටියේ ඉන් පසු දින උදේ වරුවේ පැමිණි දිල්රුවන් සහ හේරත් යළිත් තම රාජකාරිය ඉටුකළ බැවින් ජයග්‍රහණය ඉක්මන් කරගත් බවයි.

කෙසේ වෙතත් මෙම ටෙස්ට් තරගාවලියේදී පිළිවෙළින් කඩුලු 16ක් සහ 12ක් ලබා ගත් රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරාගේ දක්‍ෂතා මෙන්ම සියලු ක්‍රීඩකයන්ද අගයමින් කතා කළ චන්දිමාල් "ඉන්දියාවට එරෙහිව පසුගිය මාසයේදී පැවැති තරගාවලියේදී අප බොහෝ දේ ඉගෙන ගත්තා. පෞද්ගලිකවත් කණ්ඩායමක් වශයෙනුත් අපේ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගත්තා. ඒක ක්‍රීඩකයන් අතරේ පමණක් නොවෙයි ක්‍රිකට් පරිපාලකයන් අතරෙත් සිදුවුණා කියල මම විශ්වාස කරනවා. අවසන් මාධ්‍ය හමුවේදී මම කිව්වා වගේ අපේ නව තේරීම් කමිටුව අපිට දීපු විශ්වාසවන්තභාවය අපිට ලොකු ශක්තියක් වුණා. ඒ වාගේම ඉන්දියානු තරගාවලියේදී දිල්රුවන් යම් තරමක දක්‍ෂතා අතරට එන්නට සටනක් දුන්නත් අපි ඔහුට කතා කළා. නැවතත් ඔහුව අංක-7 තුන් ඉරියව් දක්‍ෂතා ඇති පිතිකරු ස්ථානයට දැම්මා. ඒ රාජකාරිය ඔහු දැන් හොඳින් ඉටුකරමින් සිටිනවා" යනුවෙන් පැවැසීය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස සහභාගි වූ පළමු විදෙස් සංචාරයේදී ජයග්‍රාහී අයුරින් තරගාවලිය නිමාකර ගැනීමට හැකියාව ලැබීම ගැන ඇසූ පැනයකටද පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල් "නායකයෙක් විදියට විශාල තෘප්තියක් ලබනවා. අපි සෑම දෙනාම ජයග්‍රහණයේ බඩගින්නකින් හිටියෙ. අපිටත් ක්‍රිකට් ක්‍රීඩාව කරවන අයටත් ඒ බඩගින්න තිබුණා. ඒ නිසාම කාගේත් ගින්න නිවා ගැනීම සඳහා තිබූ කැපවීම් මත මෙවන් ජයග්‍රහණයකට පාර කැපුණා කියල මම හිතනවා. අපි පළමු තරගයේදී මෙන්ම මේ තරගයේදීත් දෙවැනි ඉනිමේ හරි හැටි ලකුණු අතරට ආවෙ නැහැ. නමුත් අපිට ලකුණු 250කට වැඩි ලකුණු පරතරයකින් දෙවැනි ඉනිම වෙනුවෙන් ඔවුන්ට ලකුණු රැස්කරන්නට දුන්නොත් තරගය ජයගන්න පුළුවන් කියන විශ්වාසයක් තිබුණා. අබුඩාබි පළමු ටෙස්ට් තරගයේ තණතීරුවට වඩා මෙම ඩුබායි තණතීරුව දඟකැවීම වැඩියි. පන්දු යැවීම පැත්තෙන් ගත්තත් අපේ සැලැසුම් පාකිස්තානයට වඩා ඉදිරියෙන් තිබුණා." යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයා කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන වකාර් යුනිස්ද මෙම ලියුම්කරු සමඟ අදහස් දක්වමින් දුර්වල සැලැසුම් සහිත පාකිස්තානුවන්ගේ තරග විලාශය වි‍ෙවිචනයට ලක්කළ අතර චන්දිමාල්ගේ අදහස වූයේ පාකිස්තාන් කණ්ඩායම කිසිසේත්ම අවතක්සේරුවට ලක්කළ හැකි කණ්ඩායමක් නොවන බවයි. එසේම දැන් කණ්ඩායමක් ලෙස දැඩි විශ්වාසයක් ගොඩනැඟී ඇති බවද කී චන්දිමාල් ඇසූ පැනයකටද පිළිතුරු සහිතව තවදුරටත් මෙසේද කීය. " අපිට ටෙස්ට් තරගවල අන්තිම අවුරුදු දෙකේදීද පළමු ඉනිමේ ලකුණු 400ක් ගන්න බැරිවුණා. එහෙම වුණාම සෑම තරගයක්ද පරාජය වෙලා තියනවා. එනිසා ඒ දුර්වලතාව මඟහැර ගන්න මෙවර සැලසුමක් ඇතිව කටයුතු කළා. ඒ වාසිය නිසා දෙවැනි ඉනිමේ අපිට අඩු ලකුණු ප්‍රමාණයක් ලැබුණත් අපේ පන්දු යවන්නන්ට යැපෙන්න හොඳ අවස්ථාවක් හදල දුන්නා. ඒ වාගේම අපේ රටේ ක්‍රීඩාලෝලීන්ගේ සහයෝගයත් අපිට ශක්තියක්. අපි හොඳට කරනවිටත් නරකට කරන විටත් අපි සමඟ සිටියා. එහෙම ඉවසීමෙන් අපිත් එක්ක සිටිමින් ලබා දුන් සහයෝගය ගැන අපි ඔවුන්ට ගරු කරනවා. ඒ වෙනුවෙන් අපේ ක්‍රීඩකයෝ සියලුම දෙනා එකතු වෙලා මේ ලබා දුන් ජයග්‍රහණය සතුටින් බුක්ති විඳිනවා කියලා මා විශ්වාස කරනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon