දිල්රුවන්, කරුණාරත්න හා දික්වැල්ල ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි ඉදිරියට

  👤  2436 readers have read this article !
By mawbima 2017-10-12

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා-පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමත් සමඟ ටෙස්ට් ශේ්‍රණිගත කිරීම්හි එක් පියවරක් එනම් 7වැනි ස්ථානයේ සිට 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ.
දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශේ්‍රණිගත ලකුණු 90ක් ලබා ශ්‍රී ලංකාව හත්වැනි ස්ථානයේත්, ශේ්‍රණිගත ලකුණු 93ක් ලබා පාකිස්තානය හයවැනි ස්ථානයේත් පසු වූ අතර, මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකාවට ලකුණු 4ක් හිමිව ඇති හෙයින් මේ වනවිට ශ්‍රී ලංකාවේ ශේ්‍රණිගත ලකුණු ප්‍රමාණය 94 දක්වා ඉහළ ගොස් ඇත.

එහෙත් තරගාවලිය 2-0ක් ලෙස පරාජය වීමත් සමඟ පාකිස්තාන කණ්ඩායමට ලකුණු 5ක් අහිමි වී මේ වනවිට ශේ්‍රණිගත ලකුණු ප්‍රමාණය 88ක් දක්වා අඩු වී 7 වැනි ස්ථානය දක්වා පහළ බැස තිබීමද කැපී පෙනේ.

මේ අතර පාකිස්තානය සමඟින් පැවැති ටෙස්ට් තරගාවලියේදී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 97ක්ද, පන්දු යවමින් ලකුණු 308කට කඩුලු 12ක්ද ලැබීම හේතුවෙන් ලෝක ටෙස්ට් තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රීඩකයන් අතර 8වැනි ස්ථානයට පත්වීමට දිල්රුවන් පෙරේරා සමත්ව සිටී. ඔහු ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර අංක 10න් ඉහළට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, මේ වනවිට ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර ඉහළින්ම සිටින්නේද දිල්රුවන් පෙරේරාය.

කෙසේ වුවත් ඔහුට (දිල්රුවන් පෙරේරාට) ශේ්‍රණිගත ලකුණු 229ක් හිමිව ඇති අතර, ශේ‍ර්ණිගත ලකුණු 211ක් ලබා 10 වැනි ස්ථානය රංගන හේරත්ට හිමිව තිබීමද විශේෂත්වයකි.

තවද පාකිස්තානු ටෙස්ට් තරගාවලියට පෙර ශේ්‍රණිගත ලකුණු 608ක් ලබා පිතිකරණ ශේ්‍රණිගත කිරීම්හි 31වැනි ස්ථානයේ පසුවූ දිමුත් කරුණාරත්න එක් ශතකයක් හා එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 306ක් ලබා ගැනීම හේතුවෙන් මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 700ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර 17වැනි ස්ථානයට පැමිණ සිටින අතර, මෙයට පෙර 61 වැනි ස්ථානයේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල මෙම තරගාවලියේදී අර්ධ ශතක දෙකක් සමඟින් ලැබූ ලකුණු 196 හේතුවෙන් 39වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්