යොවුන් ඔලිම්පික් උළෙලේ දුනු විදීමේ ඉසව්වට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

  👤  2431 readers have read this article !
By mawbima 2017-10-12

විචිත්‍ර වීරසිංහ

ලබන වසරේ එනම් 2018 වසරේ ඔක්තෝබර් 6 වැනිදා සිට 18 වැනිදා දක්වා ආජන්ටිනාවේ බුවනෝස්අයිරිස්හිදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියේ දුනු විදීම පිරිමි ඉසව්ව සඳහා ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේය.
පසුගියදා ආජන්ටිනාවේ රොසෙයිරෝ නුවරදී පැවැති යොවුන් ලෝක දුනු විදීමේ ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තිසරු දිස්නක හේවගේ එහිදී 9 වැනි ස්ථානය හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවට මෙම ගෞරවය හිමිකර දී තිබේ.

2018 යොවුන් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් දෙදෙනකු සහභාගි වූ අතර, එහිදී දිස්නක 9වැනි තැනත් රවීන් කවීෂ 17වැනි ස්ථානයත් හිමිකර ගෙන ඇත. අවසන් 16 දෙනා අතරට පැමිණෙන ක්‍රීඩකයන් නියෝජනය කරන කුමන හෝ රටකට මෙම අවස්ථාව හිමිකර ගැනීමට අවකාශය සැලසී ඇති අතර, යම් හෙයකින් අවසන් 16 දෙනා අතරට එක් රටකින් ක්‍රීඩකයන් දෙදෙනකු හෝ කීප දෙනකු පැමිණියද අවස්ථාව ලැබෙන්නේ එක් ක්‍රීඩකයකුටය.

ඒ අනුව තිසරු දිස්නකගේ මෙම දක්‍ෂතා හේතුවෙන් ලබන වසරේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ කවර හෝ ක්‍රීඩකයකුට අවස්ථාව හිමිවී ඇති අතර, යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමට සුදුසු ක්‍රීඩකයා තේරීම් තරග පවත්වා ඉදිරියේදී තෝරාගන්නා බවද ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සභාපති බි්‍රගේඩියර් රජීව වික්‍රමසිංහ මහතා "මව්බිම"ට පැවැසීය. "මේ වගේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබීම ලොකු ගෞරවයක්. ඒ කොහොම වුණත් ලබන වසරේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන දුනු විදීමේ ක්‍රීඩකයා ඉදිරියේදී තේරීම් තරග පවත්වා තෝරාගන්නවා. ලංකාවට ගෞරවයක් ලබා දුන් දිස්නක හේවගේ ඒ තේරීම් තරගවලදී තේරෙන්නත් පුළුවන් වෙන කෙනකු තේරෙන්නත් පුළුවන්. දක්‍ෂතා අනුවයි ඒ හැමදෙයක්ම සිද්ධ වෙන්නේ" යනුවෙන්ද වික්‍රමසිංහ මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්