සුඛෝපභෝගී වාහන බදු මුදල් ගෙවීමට දී ඇති සහන කාලය ලබන මස 30න් අවසන් වෙයි

  👤  2441 readers have read this article !
By mawbima 2017-10-12

උපතිස්ස පෙරේරා

1995 අංක 16 දරන මුදල් පනත යටතේ සුඛෝපභෝගීි, අර්ධ සුඛෝපභෝගී හා අර්ධ සුඛෝපභෝගීි ද්විත්ව කාර්ය වාහන සඳහා පනවා ඇති බදු මුදල් නොගෙවූ වාහන හිමියන්ට අදාළ බදු මුදල් ගෙවීම සඳහා ලබා දී ඇති සහන කාලය නොවැම්බර් මස 30 වැනි දින අවසන් වන බැවින් ඉන් ප්‍රයෝජන ගෙන ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පී. ඒ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

නියමිත දිනට මෙම බදු මුදල් නොගෙවූ වාහන හිමියන් බදු මුදලට අමතරව සියයට 50ක දඩ මුදලකට යටත් වනමුත් ලබාදී ඇති සහන කාලය තුළ එය 5% දක්වා අඩු කිරීම නිසා වාහන හිමියන්ට ආර්ථික වශයෙන් විශාල සහනයක් සැලසෙන බවද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර්, කාර් සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්රල් මෝටර් කාර් සුඛෝපභෝගී වාහන කාණ්ඩයටද සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් ජිප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා පෙට්රල් කාර්, සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්රල් ජිප් රථ අර්ධ සුඛෝපභෝගී කාණ්ඩයටද සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ඩබල් කැබ් රථ හා සිලින්ඩර් ධාරිතාව 1800 ඉක්මවන පෙට්රල් කැබ් රථ අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන කාණ්ඩයටද අයත් වෙයි.

නව බදු මුදල් සංශෝධන අනුව 2011.11.22 දින සිට බල පැවැත්වෙන පරිදි රුපියල් 50,000ක්ව පැවැති සුඛෝපභෝගී වාහන සඳහා වූ බදු මුදල් රුපියල් 1,50,000 දක්වාද රුපියල් 25,000ක්ව පැවැති අර්ධ සුඛෝපභෝගී වාහන සඳහා වූ බදු මුදල් රුපියල් 60,000 දක්වාද රුපියල් 10,000ක්ව පැවැති අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන සඳහා වූ බදු මුදල රුපියල් 40,000 දක්වාද ඉහළ නංවා ඇති අතර සිලින්ඩර් ධාරිතාව අනුව ඒ ඒ වාහනවල බදු මුදල වෙනස් වෙයි.

කිසිදු හේතුවක් නිසා හෝ මෙම සහන කාලය යළි දීර්ඝ නොකරන බවත් තදබදයකින් තොරව තම බදු මුදල් සහනයක් සහිතව ගෙවිය හැකි පරිදි අවසන් දින දක්වා නොසිට කල් ඇතිව ගෙවීමට වාහන හිමියන්ට පහසුකම් සලසා ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්