වලස්ගල මයුරවංශ නාහිමි ආදාහනය චාම් අන්දමින්

  👤  2531 readers have read this article !
By mawbima 2017-10-12

මාතර - උදය කුමාර රණවීර

මාතර වල්පල සිරි මංගල පරිවේණාස්ථ යෝගාශ්‍රමාධිපති අතිපූජ්‍ය වලස්ගල පුණ්ණජි මයුරවංශ මාහිමිපාණන් වහන්සේ සියක් වසක් ආයු වළ¼දා අපවත් වූහ.උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය ඉකුත්දා ඉතා චාම් අන්දමින් සිදුකෙරිණි.

දික්වැල්ලට නුදුරු වලස්ගල දෙමටපිටියේ 1917 උපන් උන්වහන්සේගේ ගිහි නම සිටිනාමළුව ගුරුගේ සයිමන් විය. පවුලේ දෙවැනි දරුවා වූ සයිමන්, කුමාරතුංග මුනිදාස නමින් වර්තමානයේ හඳුන්වන පාසලින් මූලික සිප් සතර හැදෑරුවේය. 1932 බිනර මස 12 වැනිදා වල්පොල සිරිමංගල විහාරස්ථානයේදී පූජ්‍ය පණ්ඩිත මාතර ධම්මවංශාභිධාන නායක හිමිපාණන් වහන්සේ වෙතින් වලස්ගල මයුරවංශ නමින් සසුන්ගත වූහ. 1940 වෙසක් මස 04 වැනි දින උන්වහන්සේ මාතලේ ධම්මදස්සි නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මැදගොඩ ශ්‍රී සුමංගල හිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදා ශීලයට පත් වූහ. වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ජේතවනාරාමයට වැඩම කර අධ්‍යාපන කටයුතුවල නිරත වූ මයුරවංශ හිමිපාණෝ පසුකාලීනව වලස්ගල පුණ්ණජි මයුරවංශ නමින් හා පණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

අසූපස් වසරක් ශාසනික, සමාජයීය මෙහෙවරේ යෙදුණු උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මාහිමිපාණන් වහන්සේ, අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ, රේරුකානේ චන්දවිමල මාහිමිපාණන් වහන්සේ වැනි යතිවරුන් වහන්සේ සමඟ සමකාලීනව මිත්‍රත්වයෙන් ශාසනික මෙහෙවරෙහි යෙදුණහ.
බෞද්ධ ග්‍රන්ථ සියයකට වඩා උන්වහන්සේ රචනා කර ඇති අතර විශේෂයෙන්ම පිරිවෙන් අවසන් පරීක්ෂණ විභාගයට නියමිත පාලි භාෂාව තරණය යන ග්‍රන්ථය අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් අනුමත කර ඇත. උන්වහන්සේගේ අවසන් ඉල්ලීම වූයේ සිය වසක් චාම් දිවි පැවැත්මෙන් ශාසනික මෙහෙවරේ යෙදුණු තමන්වහන්සේගේ අවසන් කටයුතුද ඉතා චාම් ලෙස පැය කිහිපයකින් අවසන් කරන ලෙසයි. ඒ අනුව ඉතා සරලව ආදාහන පූජෝත්සවය සිදු කළ බව උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon