වඩා වැදගත් සමරු ඵලකයේ භාෂාවද මිනිස්සුන්ට ගෙවල් හදල දෙන එකද?

  👤  2460 readers have read this article !
By mawbima 2017-10-12

මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන උප්පරවැට්ටිවලට යොමු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පැවැසීය.
ඔහු එසේ පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.
ප්‍ර: හම්බන්තොට උද්ඝෝෂණයට සහභාගි වූ අයට එරෙහිව පරීක්ෂණ සිදු කෙරුණත් තරුණයකුගේ කනට පහර දුන් පොලිස් අධිකාරිවරයා ගැන තවම පරීක්ෂණයක් නැහැ?
රාජිත සේනාරත්න මහතා:

ඒ ගැන පරීක්ෂණයක් පොලිස් කොමිසම කරනවනෙ.
ප්‍ර: ඒත් පොලිස් කොමිසම කරනව කියන විමර්ශන වාර්තා මීට පෙරත් එළියට ආවෙ නැහැ?
ඔබලට පුළුවන්නෙ පොලිස් කොමිසමට කතා කරල අහන්න. පහරදී තිබෙන්නෙ මාධ්‍යවේදියකුට නම් ඔහු මොකටද පෝස්ටර් අරගෙන එන්නෙ. මෙතන ගැටීමක්නෙ ඇති වුණේ. භාවනා කරනකොට ගැහුවෙ නැහැනෙ.
ප්‍ර: දයාසිරි සහ කිරිඇල්ල ඇමැතිවරු අතර කැබිනට් මණ්ඩලයේදී උණුසුම් වාග් සංග්‍රාමයක් සිදුවූ බව ආරංචියි. ඒ මොකක්ද?
ගයන්ත කරුණාතිලක මහතා:

නුවර අධිවේගී මාර්ගය ගැන සාකච්ඡාවකුයි කළේ. කොළඹ තිබෙන වාහන තදබදය ගැනත් පොඩි මතවාදයක් තිබුණා. කොළඹ දක්වා අධිවේගය හදන්න අනුමත කළා. තවදුරටත් මෙවැනි අදහස් ගැන සාකච්ඡා කරන්න අවස්ථාව දෙන බව ජනාධිපතිතුමා කිව්වා.
රාජිත සේනාරත්න මහතා:

ගලගෙදර දක්වා අධිවේගී මාර්ගය හදනවා. එතැනින් එහාට මංතීරු 4ක මාර්ගයක් හදනවා. 2002 ඉඳලම මේ අධිවේගය හදන්න කතා වුණා.
ප්‍ර: හිටපු ජනාධිපතිවරයාත් මේ සඳහා මුල්ගල් තබා තිබුණා. ඒ වන විට ඉඩම් අත්පත් කරගෙන තිබුණද?
නැහැ. කිසිම දෙයක් කරල තිබුණෙ නැහැ.

ප්‍ර: ආණ්ඩුව පත් කරපු සභාපතිවරයකුට මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වීම ආණ්ඩුවට කෙසේ බලපාවිද?
එයාගෙ ගිණුමට ආපු මුදල්නෙ එයා අරන් තියෙන්නෙ. ඔය වගේ හැක් කරන විට බැංකු කුඩා ගිණුමකට මුදල් බැර කරන්නෙ නැහැ. එවැනි කටයුත්තකට මෙයාගෙ ගිණුම පාවිච්චි කළාද දන්නෙ නැහැ.

ප්‍ර: ආණ්ඩුවේ තනතුරුවලට පත් කරද්දි ඔවුන් ගැන සොයල බලන්නේ නැද්ද? මහ බැංකු අධිපතිවරයා ගැනත් චෝදනා එල්ල වුණා?
හොයල බලල පිටරටින් ගෙනල්ල ටොප් කියලනෙ කිව්වෙ.
ප්‍ර: මොවුන් පත් කළ අයට විරුද්ධව කටයුතු කරන්නේ නැද්ද?
පත් කළේ තාම දෙකයිනෙ. මේව ප්‍රශ්නයක් තමයි.

ප්‍ර: වෛද්‍ය සභාවේ සභාපතිට චෝදනා තිබෙනව. ඔහු සයිටම්වලට පක්ෂ පුද්ගලයෙක් බව කියවෙනවා?
මඩ ගහන්නෙ නැතිව චෝදනා තියෙනව නම් කියන්න පුළුවන්නෙ. සයිටම් එකට විරුද්ධ කට්ටියට මේ තනතුරේ ඉන්න පුළුවන් නම් මොකද පක්ෂ කට්ටියට ඉන්න බැරි? ඔහුගේ පත්වීම වෛද්‍ය සභාව අනුමත කළා.

ප්‍ර: විගණන පනතට කැබිනට් අනුමැතිය දී තිබෙන්නේ අධිභාරය පැනවීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට පවරමිනුයි. විගණන කොමිසමේ ඉල්ලීම ඒක ඉවත් කරන ලෙසයි. මෙතැන යළිත් ගැටුමක් ඇති වෙනව නේද?
පරීක්ෂණ කරන්න විගණන කොමිසමට බලය තිබෙනවා. ඒත් එක කොමිසමකට ඔක්කොම වගකීම් දුන්නම කොහොමද කරන්නෙ. ලක්ෂ 14ක රාජ්‍ය සේවකයන් බලාගන්න රාජ්‍ය සේවා කොමිසමට ඉන්නෙ 14ක විතර පිරිසක්. මේ විදියට රටක් ගෙනියන්නෙ කොහොමද? මේ කොමිසම නිසා කාලය ගත වෙනවා.
ප්‍ර: අමාත්‍යාංශ ලේකම්ට විරුද්ධව ලැබෙන තීන්දුවකදී ඔවුන් අභියාචනා කළ යුත්තේ කාටද?
රාජ්‍ය සේවා කොමිසමට.

ප්‍ර: දේශපාලනඥයන්ට ආතතිය තිබේද පිළිබඳ පරීක්ෂණ කළේ නැද්ද?
දේශපාලනඥයන්ටත් තිබෙනවා. අපිට තරම් කාටවත් නැහැ. හැබැයි ගණන් ගන්නේ නැහැ. දේශපාලනඥයන්ට ඒක හොඳට පුරුදුයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කවුද?
ගයන්ත කරුණාතිලක මහතා:
වැඩ බලන්නට ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා පත් කළා.
ප්‍ර: නිවාස ඇමැතිවරයා උදාගම්මාන ඉදිකිරීම සඳහා විදේශ ආධාර ගැනීමට කැබිනට් අනුමැතිය ගන්නා බව බොහෝ විට සඳහන් වෙනවා. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ඉදිකරන ගම්මානවලටත් එසේ රජයේ අනුමැතිය ගන්නවාද?

රජයේ මුදල් පාවිච්චි කරනව නම් අනුමැතිය ලබා ගන්න ඕන. හැබැයි මැදපෙරදිග රටවලින් මුදල් ගෙනල්ලා එයා වියදම් කරනවා. ඒවාට ඉඩම් අනුමැතිය ආදිය ගත්තම ඇති.
ප්‍ර: ඔහු පසුගිය දිනවල ආරම්භ කළ නිවාස ව්‍යාපෘතියක සමරු ඵලකයේ රාජ්‍ය භාෂාව වන දමිළ සහ සිංහල භාෂා නැතත් අරාබි භාෂාවෙන් සමරු ඵලක තබා තිබෙනවා. මේක රාජ්‍ය භාෂා පනතට එකඟද?

ඵලකයට වඩා වැදගත් වෙන්නෙ ගෙවල් හැදීමනෙ.
ප්‍ර: සීමාවාසික වෛද්‍ය පත්වීම් දීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. මේ ගැන සෞඛ්‍ය ඇමැති ලෙස මැදිහත් වෙන්නේ නැද්ද?
මට තීන්දුවක් ගන්න බැහැ. අපි පීඨාධිපතිවරුන් එක්ක කතා කළා. දේශනවලට සහභාගි වෙන්න කියල ඔවුන් ඉල්ලා තිබෙනවා. ඒත් මේක විසඳන්න අකැමැති කට්ටියකුත් ඉන්නවා. සමහරුන්ට ඕන මහින්ද රාජපක්ෂ එනකන් මේක තියාගන්නටයි. ඔවුන් එක දිස්ත්‍රික්කයකට එක් අයකු ලෙස ඊළඟ මැතිවරණයට තරග කරන්න වෛද්‍යවරු 25ක් තෝරාගෙන තිබෙනවා. ශිෂ්‍ය සංගම්වලින් බල කරල තමයි ඔය ශිෂ්‍යයො පෙළපාළිවලට ගෙනයන්නෙ. අද නිලවරණ නැතිව ශිෂ්‍ය සංගම් හදනවා. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නැතිව ආණ්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙනවා. දේශපාලන උප්පරවැට්ටිවලට ශිෂ්‍ය ව්‍යාපාරය යොමු කොට තිබෙනවා.
ප්‍ර: අපි අහන්නෙ රජය ගන්නා පියවර ගැනයි.
රජය පියවරෙන් පියවර ගන්නවා.

ප්‍ර: මහින්ද රාජපක්ෂ මහතා ආයෙත් බලයට එනව කියල ඔබත් හිතනවාද?
කොහෙත්ම නැහැ. එහෙම කට්ටිය හිතාගෙන ඉන්නවා.
ප්‍ර: උතුරේ ඉඩම් කොපමණ ප්‍රමාණයක් හමුදාව සතුව තිබේද? ඒවා නිදහස් කරනවාද?
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා
ඒ සඳහා යම් පිළිවෙතක් සකස් කර තිබෙනවා. ඉදිරි වසර 2 තුළ ඊට අනුව කටයුතු කරන්න පුළුවන් වේවි. පවතින ආරක්ෂක තත්ත්වයන් විශ්ලේෂණය කරල තමයි ඒ කටයුතු සිදු කරන්නෙ.

රාජිත සේනාරත්න මහතා
මම රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයොත් එක්ක ඒ ගැන කතා කළා. ඒ අයගෙ සංඛ්‍යා ලේඛන අනුව 62% ඉඩම් නිදහස් කරල තියෙනවා. ඉතිරි ඒවා දීමට සාකච්ඡා කරගෙන යනවා.
ප්‍ර: එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කරන්න කියල උපවාස පවත්වනවා? ඔවුන් කෙරේ අනුගමනය කරන්නෙ කුමන ක්‍රියාමාර්ගයක්ද?
නීති කටයුතු තියෙන ඒවා හැර අනෙක් සියලු දෙනා නිදහස් කළ යුතුයි. බොරුවට තියාගෙන ඉඳලා වැඩක් නැහැ.
දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්