ආණ්ඩුව මොන දහංගැට ගැහැව්වත් දේශද්‍රෝහී ව්‍යවස්ථාවට ඉඩ දෙන්නේ නැහැ

  👤  2454 readers have read this article !
By mawbima 2017-10-12

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රිමෝට් කොන්ට්‍රෝලයක මට්ටමකට ඇද වැටීමේ වගකීම පක්ෂ සභාපතිවරයා සහ ලේකම්වරුන් භාර ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.
සන්ධානයේ මහලේකම්වරයා කියන පරිදි ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රිමෝට් කෝන්ට්‍රෝලය වීමට යන්නේ නම් මෙතෙක් කල් රිමෝට් කොන්ට්‍රෝලය වී සිටි ජනතා විමුක්ති පෙරමුණට රිමෝට් කොන්ට්‍රෝලයේ බොත්තමක්වත් වීමට සිදු වනු ඇති බවත් මන්ත්‍රිවරයා පැවැසීය.
ප්‍රසන්න රණතුංග මේ අදහස් පළ කළේ උඩුගම්පොළ පැවැති උත්සවයකදීය.
මන්ත්‍රිවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේද ප්‍රකාශ කළේය.

මම දැක්කා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා කියනවා ඊළඟට එන ඕනෑම ඡන්දෙකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රිමෝට් කොන්ට්‍රෝල් එක වෙනවා කියලා. මෙච්චර කල් රිමෝට් එක වෙලා හිටියේ පාර්ලිමේන්තුවේ ආසන පහක්වත් දිනාගන්න බැරි ජනතා විමුක්ති පෙරමුණයි.
මහලේකම්වරයා කියන විදියට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණටත් වඩා පහළට වැටිලා තිබෙනවා. මහලේකම්වරයා තමන්ගේ කතාව තුළින් පිළිඅරගෙන තිබෙනවා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ රටේ ආණ්ඩුවක් ගන්න බැරි බව. ආණ්ඩුවක් ගන්න පුළුවන් පක්ෂයක් රිමෝට් එකක් වෙන්නේ නැහැනේ.
මහලේකම්වරයාගේ කතාවෙන් අපට පෙනෙන්න තිබෙන්නේ ඉදිරි මැතිවරණයේදී නියත වශයෙන්ම තුන්වැනි තැනට හෝ සිවුවැනි තැනට ඇද වැටෙන බව දැනටමත් පිළිඅරන් තිබෙන බවයි. ඉදිරියේදී නියත වශයෙන්ම ලැබෙන පරාජයට දැන්මම හේතු දක්වන්න අරගෙන තිබෙන්නේ ඒ නිසයි.

2015 ජනවාරියට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්. පළාත් සභා 8ක්, පළාත් පාලන ආයතන සියල්ලගෙම පාහෙත් බලය තහවුරු කරගෙන හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රිමෝට් කොන්ට්‍රෝල් එකක තත්ත්වයට වැටිලා නම් ඒකට වගකියන්න ඕනේ පක්ෂයේ වත්මන් සභාපතිවරයා සහ ඔය ලේකම්ලා දෙපළ තමයි.
නිදහස් පක්ෂය රිමෝට් එක වෙන කොට මෙච්චර කල් රිමෝට් එක යැයි කියාගත් ජනතා විමුක්ති පෙරමුණට මොකද වන්නේ?
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ චරිත ඝාතනය කරන මඩ මෙහෙයුමක් රාජ්‍ය මාධ්‍ය හරහා දියත් කරන්න ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නවා. ආණ්ඩුවට වැඩිම තර්ජනයක් තියෙන මන්ත්‍රිවරුන්ට එරෙහිව කුමන හෝ චෝදනාවක් හොය හොයා දැන් රාජ්‍ය මාධ්‍ය කණ්ඩායම් රට පීරනවා.

රට බෙදෙන ව්‍යවස්ථාව වෙනුවෙන් ගේන ජනමත විචාරණයට පෙර ඒකාබද්ධ විපක්ෂයේ හඬ නැති කරන්න තමයි ආණ්ඩුව මේ සැලසුම් කරන්නේ. අපි ආණ්ඩුවට කියන්න කැමැතියි මොන දහං ගැට ගැහුවත් රට බෙදෙන ව්‍යවස්ථාව විතරක් නෙවෙයි මේ ජනතාද්‍රෝහී ආණ්ඩුවම පරද්දනකම් අපේ සටන නතර කරන්නේ නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්