චේගෙන් විජේවීර ගෙන් ඉගෙන ගත යුත්තේ මියගිය විප්ලවවාදීන්ටත් පාලකයන් බය බවයි

  👤  2530 readers have read this article !
By mawbima 2017-10-12

පාලකයන් මේ විප්ලවීය නායකයන් මේ විශිෂ්ට මිනිසුන්ගේ ජීවිතයට පමණක් නොවෙයි ඔවුන්ගේ මරා දමන ලද විනාශ කරන ලද මළ සිරුරටත් බයයි කියන එක අන්තර්ජාතික අත්දැකීමක් විදියට චේ සහෝදරයාගෙනුත් දේශීය අත්දැකීමක් විදියට විජේවීර සහෝදරයාගෙනුත් අපට ඉගෙන ගන්න පුළුවන්.
වැදගත් දේ වෙන්නේ අධිරාජ්‍යවාදීන්ට ඔහු අහිමි කරන්නට පුළුවන් වුණාට ඔවුන් පරාජයට පත් කරන්න නොහැකිවී තියෙනවා යැයි සමාජවාදී තරුණ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පැවැසීය.

මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ කළේ කියුබානු විප්ලවීය නායක අර්නස්ට් චේ ගුවේරාගේ 50 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මොරගහහේන යහලකැලේ වත්තේ පැවැත්වූ පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයේදීය.
ශ්‍රී ලංකා කියුබානු තානාපති යවානා හෙලේනා රාමොෂ් මැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම පුෂ්පෝපහාර දැක්වීම පැවැත්විණි.
මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අද විශේෂ දිනයක්. චේ ගුවේරා සහෝදරයා විසින් මොරගහහේන යහලකැලේ වත්තට 1959 අගෝස්තු 8 වැනි දින පැමිණ සිටුවන ලද මහෝගනි වෘක්ෂය ආසන්නයේ හිඳගෙන චේ සහෝදරයාගේ අහිමි කළ පනස් වසරක ඔහුගේ ගුණ සමරුව පිළිබඳ කතා බහ කරන්නේ. මීට අවුරුදු 50කට කලින් අද වගේ දවසක තමයි චේ ගුවේරා සහෝදරාව බොලිවියාවේදී සී. අයි. ඒ. සංවිධානයේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුණු බොලිවියානු හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඝාතනය කරනු ලැබුවේ.
චේ සහෝදරයාට කෙතරම් ඇමෙරිකානු අධිරජ්‍යවාදී පාලකයන්, බොලිවියානු නායකයන් බිය වුණාද කියනවානම් ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ඝාතනය කළේ. ඝාතනය කළා පමණක් නොවෙයි ඔහුගේ මළ සිරුර පවා හැංගුවා. ඔවුන් මේ මිනියටත් බය වුණා.

තානාපතිනිය කිව්වා වගේ චේ සහෝදරයා ඇතුළු සටන් වැදුණු කොමියුනිස්ට්වාදීන්ගේ සිරුරු ඊට අවුරුදු 30කට පස්සේ 1995 තමයි නැවත සොයා ගත්තේ.
අපිට පේනවා ලෝකයේ යුක්තිය, නිදහස, සාධාරණය වෙනුවෙන් සටන් කරපු සමාජවාදය වෙනුවෙන් සටන් කරපු චේ ගුවේරා සහෝදරයාගේ බලපෑම කොපමණද කියල අධිරාජ්‍යාවාදීන් දැනගෙන සිටියා.

ඒ නිසා තමයි අධිරාජ්‍යවාදීන් ඔහුගේ ජීවිතය අහිමි කළේ.
යුද්ධයකදී පණ පිටින් අත්අඩංගුවට ගත්තට පස්සේ කිසිම අයකු ඝාතනය කරන්නට බැහැ. මේ චේ ගුවේරා අත්අඩංගුවට ගත්තට පස්සේ ඝාතනය කළේ. අපේ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා අත්අඩංගුවට ගත්තට පස්සේ ඝාතනය කළේ. චේ සහෝදරයා වගේම රෝහණ විජේවීර සහෝදරයාගේ සිරුර අපි දැකලා නැහැ.

කොළඹ _ එම්. සී. පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon