රටට ආදරය කළ රජකු සිටියා නම් නිවාස නැති ජනතාව මෙතරම් සිටීද?

  👤  2518 readers have read this article !
By mawbima 2017-10-12

රටේ තරුණ පරපුර දවසින් දවස විරැකියාවෙන් පෙළෙනවා. හම්බන්තොට වරාය ගිනි පොලී ණය ලබාගෙන නිර්මාණය කළේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. මැතිවරණ කාලවලදී මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය හරහා රජයේ රැකියා ලබාදෙන බව පවසා රටේ ජනතාව මුළා කරමින් ඔවුන්ගේ ඡන්ද ලබා ගත්තා යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී වෙනසක් කිරීමට රටේ සියලු ජනතාව තීරණය කළ බවත් ඒ වෙනස තුළ රාජ්‍ය මුදල් අවභාවිත නොකර කටයුතු කරන බවත්, ලැබුණු ජනවරම යොදවන්නේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා මිස දේශපාලනඥයන්ගේ සුබ සිද්ධිය සඳහා නොවන බවත්, ජනතාවගෙන් ලැබුණු ජනවරමින් ලබාගත් තනතුරුවලින් අප හිසමතට ජනතාවට සේවය කිරීමේ බර පැටවී ඇති බවත් ජනතාවට සේවය කිරීමෙන් ඒ බර ක්‍රමයෙන් අඩු වී යන බවත් අමාත්‍යවරයා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය "යළි පිබිදුණු උදා ගම්මාන" වැඩපිළිවෙළ හරහා උදා ගම්මාන නිර්මාණය කිරීමෙන් උත්සාහ කරන්නේ සහන ඉල්ලා අනුන් පසුපස යෑමේ සංස්කෘතිය සහමුලින්ම ඉවත්කර ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කිරීමට බව 42 වැනි උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව, වැලිවැව "සමුදිගම" ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමින් පැවැසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
"සමුදිගම" ගම්මානය ජනතා අයිතියට පත්වීමත් සමඟ ඉඩමක් සහ නිවෙසක් නොමැති පවුල් විසි දෙකකට ඉඩමක් මෙන්ම නිවෙසක්ද හිමිවෙනවා. අපගේ වැඩපිළිවෙළ පිළිබඳ කවුරුන් හෝ සුළු කොට සිතනවා නම් එයට එරෙහිව කතා කරනවා නම් ඔවුන්ගෙන් මා එක් ප්‍රශ්නයක් ඇසිය යුතුය. 2009 වසරේ මැයි මස 18 වැනිදා අප යුද ජයග්‍රහණය ලබා ගත්තා. එම ජයග්‍රහණය පාට පක්ෂවලට ලඝු කිරීම අසාධාරණයි. එය ජාති, කුලමල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව වීරෝදාර රණවිරුවන් ජීවිත පූජාවෙන් ලබාගත් ජයග්‍රහණයක්. යුද ජයග්‍රහණය රටට ජයග්‍රහණයක් වූයේ ඇයි..? යුද්ධය තිබුණා නම් විශාල ලෙස මිනිස් ජීවිත අහිමි වෙනවා. ජන ජීවිතය සහමුලින් අඩාල වෙනවා. ආර්ථික වශයෙන් රට විශාල ලෙස අස්ථාවර වෙනවා. යුද ජයග්‍රහණය නිසා මේ සියල්ල වෙනස් වුණා. යුද්ධය සඳහා වැය කළ මුදල් රටට ඉතිරි වුණා. රටේ ජනතාව යුද ජයග්‍රහණය සමරමින් සාමයේ ප්‍රතිලාභ තමන්ට ලැබේවි යැයි බලාපොරොත්තු වුණා. නමුත් එය එලෙස සිදුවුණේ නැහැ. 2009 සිට අද දක්වා වසර කීයක් ගතවී තිබෙනවාද..? ගත වූ මේ කාල සීමාව තුළ රටට සාමයේ සැබෑ ප්‍රතිලාභ හිමි වූවාද..? යුද්ධය සඳහා වැය කළ මුදල් යුද ජයග්‍රහණයෙන් පසුව වැය කළේ කුමකටද..? මෙම ප්‍රශ්න දෙස අප හොඳින් විමසා බැලිය යුතුය. එවිට අපට එක් කාරණයක් පැහැදිලි වෙනවා. එනම්, එම මුදල්වලින් බහුතරයක් අනවශ්‍ය, ප්‍රතිඵලදායී නොවන, අසාර්ථක ව්‍යාපෘති සඳහා යොදවා රටක් ලෙස මහා පාඩුවක් අප ලබා ඇති බවයි.

පසුගිය රජය යුද ජයග්‍රහණයෙන් පසුව රටේ ජනතාවට සාමයේ සැබෑ ප්‍රතිලාභ ලබා දුන්නා නම් අද මෙරටේ පවුල් ලක්ෂ 25ක් නිවාස ගැටලුවෙන් පීඩා විඳින්නේ කෙසේද..? ඉතා කනගාටුදායක කාරණා වන්නේ එයයි.

පසුගිය රජයේ පාලකයන් යුද ජයග්‍රහණය සමඟ "මහරජාණෝ", "අපේ රජ්ජුරුවෝ" ආදී විවිධ විරුදාවලිවලින් හඳුන්වනු ලැබුවා. රටට ආදරය කළ රජකු රටේ සිටියා නම් නිවාස ගැටලු තිබෙන මෙපමණ සංඛ්‍යාවක් රටේ සිටිය හැකිද..?

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon