නඟා ඇති අධි චෝදනාවන්ට වරද පිළිගැනීමට සූදානම් බව කොටි සාමාජිකයෝ දෙදෙනා විශේෂ මහාධිකරණයට දන්වති

  👤  2460 readers have read this article !
By mawbima 2017-10-12

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනකු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී කොටි ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ගොනු කර ඇති අධි චෝදනාවන්ට වරද පිළිගැනීමට තමන් සූදානම් බව මෙම නඩුවේ විත්තිකාර හිටපු කොටි සාමාජිකයන් දෙදෙනා අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතාට ඊයේ (11දා) දැන්වීය.
ඒ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා මඟින් විත්තිකාර හිටපු කොටි සාමාජිකයන් දෙදෙනා වරද පිළිගන්නා බවට කර ඇති ප්‍රකාශය පිළිබඳව අධිකරණයේ සහ නීතිපතිවරයාගේ ස්ථාවරය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ රියාස් බාරි මහතා ලබන දෙසැම්බර් මස 14දා අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට මහාධිකරණ විනිසුරු වීරමන් මහතා තීරණය කරනු ලැබීය.

මෙම නඩුවේ විත්තිකාර කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් දෙදෙනා දෙසැම්බර් මස 14 දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ ඊයේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දැනට නඟා ඇති අධිචෝදනාවන්ට වරද පිළිගැනීමට විත්තිකරුවන් කැමැත්තෙන් සිටින බවයි.
මෙම අපරාධය සිදුකළ බවට අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා දැනට වසර 6ට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් භාරයට පත්කර සිටිනුයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් නොහොත් උදයන් නොහොත් අයියන් සහ ශිව ප්‍රකාශන් ශිවශීලන් නොහොත් ඉලෙයියන් යන කොටි සංවිධානයේ හිටපු ප්‍රබල සටන්කරුවන් දෙදෙනෙකි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර, මේජර් ඩී.එස්. ඒ. ජයන්ත, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ භාරකරු වසන්ත පුෂ්පානන්ද, වනජීවී නියාමක උපාලි චන්දන, යුද හමුදා සෙබළ කපිල කුමාර (46064) යන මහත්වරුන් ඇතුළු අට දෙනකු විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණේ 2007 වසරේ මාර්තු මස 9දායි.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස මෙම සිද්ධිය වන අවස්ථාවේ නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටි සීතාවක කොට්ඨාසය බාර වත්මන් පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය කුරුණෑගල මහ රෝහලේ වත්මන් විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන, කරාපිටිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දිල්හානි මුණසිංහ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ බූස්ස කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාල් ගමගේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් චමින්ද ගුණසේන, මේජර් පී. එච්. සුසිල්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වවුනියාව කඳවුරේ සැරයන් රත්නසේන (33133) යන මහත්වරුන් ඇතුළු 37 දෙනකු නම් කරනු ලැබ සිටිති.

මෙම නඩුවේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කරන්නේ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ භාෂා පරිවර්තක සාවේල් හමිදු මොහොමඩ් නිලාම් මහතායි. පැමිණිල්ල වෙනුවෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ මහතාගේ උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ වවුනියාව කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීම මත එම කොට්ඨාසයේ සැරයන් කරුණාරත්න (14993) මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා පෙනී සිටියේය.

සිද්ධියට අදාළව නොච්චියාගම පොලිසිය මඟින් පැවැත්වූ මූලික විමර්ශනවල ලේඛන අධිකරණයට ඉදිරිපත් කළේ නොච්චියාගම පොලිසියේ කොස්තාපල් දයාරත්න (31801) මහතායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්