මෛත්‍රි - රනිල් ආණ්ඩුව සිදු කළ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ පැසසුම් කටයුතුයි -පින්ලන්ත අගමැති යුහා සිපිලා

  👤  2434 readers have read this article !
By mawbima 2017-10-12

පින්ලන්තය නිදහස ලබා වසර 100ක් පිරෙන අවස්ථාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පින්ලන්තයේ සංචාරය කිරීම දෙරට අතර මිතුදම වඩවන හා ශක්තිමත් කරන ඓතිහාසික පියවරක් යැයි පින්ලන්ත අග්‍රාමාත්‍ය යුහා සිපිලා (බ්භඩච ඉඪනඪතච) මහතා පැවැසීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, සම්මුතිවාදී ජාතික ආණ්ඩුව මඟින්
ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණයන්ද පින්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.
ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පෙරේදා (10දා) දහවල් හෙල්සින්කි නුවර 'කෙසරන්තා' අග්‍රාමාත්‍ය නිල නිවාසයේදී පැවැත්විණි.
අධ්‍යාපනය, සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ඩිජිටල්කරණය, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය ආදී ක්‍ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ පිළිබඳ පින්ලන්ත අත්දැකීම් උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
ලෝකයේ දියුණුතම අධ්‍යාපන ක්‍රමවේදයන් ක්‍රියාත්ම වන පින්ලන්තය ලෝකයේ නව ප්‍රවණතාවන්ට අනුව නිරන්තරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවද මෙහිදී පින්ලන්ත පාර්ශ්වය පෙන්වා දෙන ලදී.

පින්ලන්තයේ බලශක්ති උත්පාදන තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධව සහ
ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලීම සඳහා ප්‍රදානයන් හා සහන පොලී අනුපාත මත ණය ආධාරයන් ලබාදීමට එකඟවීම පිළිබඳ වික්‍රමසිංහ මහතා යුහා සිපිලා මහතා වෙත කෘතඥතාව පළ කළේය.

කලාපීය හා ගෝලීය ප්‍රවණතාවන් සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි. තම අනන්‍යතාව රැක ගනිමින්, අසල්වැසි විශාල රාජ්‍යයන් සමඟ එක්ව කටයුතු කරමින් කලාපීය සාමය හා ආරක්‍ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳවද දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කෙරිණි.
ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 70ක් සපිරෙන ලබන වසරේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන මෙන් වික්‍රමසිංහ මහතා පින්ලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළේය.
ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා නියෝජිත පිරිස වෙත පින්ලන්ත අග්‍රාමාත්‍යවරයා දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.
ඉන් අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරු මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවැසීය.
අද අපට වැදගත් තීරණ කිහිපයකට එළැඹීමට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර පැවැති පැරැණි සම්බන්ධතා තව තවත් තහවුරු කරමින් එම සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සහ ගිවිසුම් කිහිපයකට එළැඹීමට අපට හැකි වුණා.
ශ්‍රී ලංකාව සහ පින්ලන්තය අතර බලශක්ති දියුණු කිරීමට, නව බලශක්ති මාර්ග පිළිබඳව ඒකාබද්ධව වැඩ කටයුතු කිරීමට අපි එකඟ වුණා. ඒ වගේම අපේ අධ්‍යාපන ක්‍රමය නවීකරණය කිරීමටත්, විශේෂයෙන්ම එහිදී වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත්, ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වන පින්ලන්තයේ ද්විතීය, වෘත්තීය අධ්‍යාපන සමාගම් සම්බන්ධකර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කළා.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අපි අරගෙන තිබෙන පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපේ නව ව්‍යවස්ථාව සඳහා පින්ලන්තයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අත්දැකීම්ද අපට ලබාගැනීමට හැකියාව තිබෙනවා. මේ සියල්ල හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ බලාපොරොත්තුවයි.
මේ වැදගත් වර්ෂයක්. පින්ලන්තයට නිදහස ලැබී ශත වර්ෂයක් ගත වන අවස්ථාවේ අපේ මිත්‍රත්වය යළිත් තහවුරු කර ගැනීමට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සපිරෙන ලබන වසරේදී පින්ලන්ත අග්‍රාමාත්‍යතුමා ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීම තුළින් එම සම්බන්ධතාව තවත් ශක්තිමත් කිරීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්