සංශෝධිත රථ වාහන දඩ මුදල් අය කිරීම ලබන වසරේ සිට ක්‍රියාත්මකයි

  👤  2550 readers have read this article !
By mawbima 2017-10-12

උපතිස්ස පෙරේරා

මෝටර් වාහන පනත උල්ලංඝනය කරන රියැදුරන් විසින් සිදුකරන වැරැදි සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අනුව වැඩි කරන ලද දඩ මුදල් අය කිරීම සඳහා මෝටර් රථ වාහන පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවත් සංශෝධිත දඩ මුදල් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් මෝටර් රථ වාහන කොමසාරිස් පී.ඒ. ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව රියැදුරු බලපත්‍රයක් රහිතව වාහන ධාවනය කිරීමේ වරදට රුපියල් 2500ක්ව පවතින ස්ථානීය දඩය පළමුවන අවස්ථාවේ රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වාද, දෙවැනි අවස්ථාවේ රුපියල් 30,000 සිට රුපියල් 50,000 දක්වා වූ අධිකරණ දඩයක් බවට පරිවර්තනය කර තිබේ.
රියැදුරු බලපත්‍රයක් නොමැති අය සේවා නියුක්ත කිරීම, බාල වයස්කරුවන් රිය ධාවනයට යෙදවීම යන වරදට රුපියල් 3000ක්ව පවතින ස්ථානීය දඩය රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා අධිකරණ දඩයක් බවට පත් කෙරේ.

මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කොට රිය පැදවීමේ වරදට රුපියල් 4000 සිට රුපියල් 12,000 දක්වා අධිකරණ දඩ මුදල රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ නංවා ඇති අතර මාස 3කට නොවැඩි බන්ධනාගාර ගත කිරීම මාස 12කට නොවැඩි කාලයකට රියැදුරු බලපත්‍රය අත්හිටුවීමටද අධිකරණයට බලය හිමිවේ.
මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු ගාස්තුවකට යටත්ව මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට රුපියල් 4000 සිට රුපියල් 7000 දක්වා අධිකරණ දඩ මුදල රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා වැඩි කෙරෙන අතර මාස 6කට නොවැඩි බන්ධනාගාරගත කිරීම සහ රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමේ දඬුවම්ද ඇතුළත් වෙයි.
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය පදවා යම් තැනැත්තකුට මරණය හෝ තුවාල සිදු කිරීමේ වරදට රුපියල් ලක්‍ෂයේ සිට රුපියල් එක්ලක්‍ෂ පනස් දහස දක්වා දඩ මුදල්ද, අවු. 2 සිට අවුරුදු 10 දක්වා බන්ධනාගාර ගත කිරීම, රියැදුරු බලපත්‍රය අවලංගු කිරීම යන දඬුවම් ඇතුළත් වෙයි.

දුම්රිය මාර්ගයක් තුළට අපරික්‍ෂාකාරී ලෙස වාහනයක් ඇතුළත් කිරීමේ වරදට පළමු වතාවට රුපියල් 25,000 සිට රුපියල් 30,000 දක්වා දඩ මුදලක්ද, දෙවැනි වතාවට රුපියල් 30,000 සිට රුපියල් 40,000 දක්වා දඩ සහ රියැදුරු බලපත්‍රය මාස 6කට අත්හිටුවීමද, තෙවැනි වතාවට රුපියල් 40,000 සිට රුපියල් 50,000 දක්වා දඩ මුදල් සහ මාස 12කට රියැදුරු බලපත්‍රය අත්හිටුවීමද ඇතුළත් වෙයි.
වලංගු රක්‍ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 25,000 සිට රුපියල් 50,000 දක්වා දඩ හෝ මාස 01කට නොවැඩි බන්ධනාගාර ගත කිරීම ඇතුළත් වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon