මහානාම සමරවීර ජන්ම සියවසට වැඩසටහන් මාලාවක්

  👤  2547 readers have read this article !
By mawbima 2017-10-12

මාතර - එම්.සී. දුශාන්ත

සමාජ සේවකයකු, කෘතහස්ත නීතිඥයකු හා මහත්මා දේශපාලනඥයකු වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පියාණන් වූ දිවංගත මහානාම සමරවීර මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.

ඔක්තෝබර් 19 වැනිදා සවස 2.00ට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර නූපේ ඕලන්ද වෙළෙඳ මධ්‍යස්ථානයේදී ජන්ම ශත සංවත්සර ජනතා හමුව පැවැත්වේ. මෙදින මහානාම සමරවීර මහතාගේ ජීවිත කතාව අලළා 'උත්තුංග මනුෂ්‍යත්වයේ යශෝරාවය' ගුණ සමරු කලඹ එළි දැක්වෙයි. අද (12දා) සිට 19 වැනිදා දක්වා සතියක් පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාවට සමගාමීව පාසල් ළමයින් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම වෙරළ උද්‍යාන පිරිසුදු කිරීම, ජන සහන අරුණලු වැඩසටහන ආදී වැඩසටහන් රැසක් සිදු කෙරේ. 1943 වර්ෂයේ කොමියුනිස්ට් පක්‍ෂයෙන් මාතර මහ නගර සභාවේ සභිකයකු ලෙස පත්වූ ඔහු 1952 වසරේදී එම පක්‍ෂයෙන් මාතර මැතිවරණ කොට්ඨාසයට තරග කොට ජය ලබා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

අනතුරුව 1955 වසරේදී භාෂා ප්‍රතිපත්තිය මත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේග පිළිගනිමින් කොමියුනිස්ට් පක්‍ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳී 1956 වසරේ පැවැති මැතිවරණයෙන් මාතර මැතිවරණ ආසනයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක රජයේ අධිකරණ උප ඇමැති, ස්වදේශ කටයුතු ඇමැති ආදී තනතුරු හෙබවූ සමරවීර මහතා 1960 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කොට විශිෂ්ට ජයක් ලැබීය.
එම රජයේ නිවාස හා පළාත් පාලන ඇමැති පදවියටද 1964දී මහාමාර්ග හා ප්‍රවාහන ඇමැති ධුරයටද පත්ව අති මහත් සේවයක් ඉටු කළේය. 1966 මාර්තු 19 වැනිදා මහානාම සමරවීර නම් වූ කෘතහස්ත දේශපාලනඥයා අභාවප්‍රාප්ත වූයේ මාතර නම ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට රන් අකුරෙන් එක් කරමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon