මොන දහංගැට ගැහුවත් ආණ්ඩුව පරාද කරන තෙක් අපේ ජනතා සටන නවත්වන්නේ නෑ

  👤  2487 readers have read this article !
By mawbima 2017-10-12

ගම්පහ - කේ.ඒ. සිසිර කුමාර

"රටට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගවලට එරෙහිව නැඟී සිටින ඒකාබද්ධ විපක්‍ෂය අද මේ ආණ්ඩුවට හිසරදයක් වෙලා. මොන දහංගැට ගැහුවත් මේ ආණ්ඩුව පරාද කරනකල් අපේ ජනතා සටන නතර කරන්නේ නෑ" යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා කීවේය.

ඒ මහතා එසේ කීවේ ඒ මහතාගේම රුපියල් ලක්‍ෂ 38ක ප්‍රතිපාදන යටතේ උඩුගම්පොළ සෙනරත් පරණවිතාන විදුහලේ අභිනවයෙන් ඉදිකරන ලද පාසල් බුදුමැඳුර සිසු අයිතියට පැවැරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ ද කීවේය.

අද රටට එරෙහිව ක්‍රියාත්මක වන බලවේගවලට එරෙහිව එකම හඬ ඒකාබද්ධ විපක්‍ෂයයි. ආණ්ඩුව විවිධ උපක්‍රම යොදලා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ චරිත ඝාතනය කරමින් රජයේ මාධ්‍ය හරහා මඩ මෙහෙයුමක් ගෙන යනවා. අපිව මර්දනය කරන්න හදනවා. රට බෙදන ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයට පෙර ඒකාබද්ධ විපක්‍ෂයේ හඬ නැති කරන්න තමයි මේ සැලසුම් කරන්නේ. ඊළඟට එන ඕනෑම ඡන්දයකදී ශ්‍රී ලනිපය රිමෝට් කොන්ට්‍රෝල් එක වෙනවා කියලා සන්ධානයේ මහ ලේකම් කිව්වා. ඉන් කියන්නේ ශ්‍රී ල.නි.ප.ය දැන් ජනතා විමුක්ති පෙරමුණටත් වඩා පහළට වැටිලා කියන එකයි.

ශ්‍රී ල.නි.ප.යට ආණ්ඩුවක් ගන්න බැරි බව මහලේකම්ගේ කතාවෙන් පේනවා. ආණ්ඩුවක් ගන්න පුළුවන් පක්‍ෂයක් රිමෝට් එකක් වෙන්නේ නැහැනේ. 2015 ජනවාරියට පෙර පාර්ලිමේන්තුවේ 2/3ක්, පළාත් සභා 8ක්, පළාත් පාලන ආයතන සියල්ලෙම පාහේ බලය තහවුරු කරගත් ශ්‍රී ල.නි.ප.ය අද රිමෝට් කොන්ට්‍රෝල් එකක තත්ත්වයට වැටිලා නම් එයට වගකිව යුත්තේ පක්‍ෂයේ සභාපතිවරයා හා ඔය ලේකම්ලා දෙපළ තමයි.

රට වෙනුවෙන් පෙනී සිටින අය උසාවි ගාණේ ගෙනියන එක තමයි මේ ආණ්ඩුව කරන වැඩේ. මොන දහංගැට දාලා අපිව මර්දනය කරන්න හැදුවත් රටට එරෙහි බලවේග ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. මේ ආණ්ඩුව පරද්දනකම් අපේ සටන නවත්වන්නේ නෑ." යැයි ද ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්