පුංචි ඡන්දයට උතුරට දෙමළ සන්ධානයෙන් තරගයට අපේක්‍ෂකයන් 4,000කගෙන් අයැදුම්පත්

  👤  2502 readers have read this article !
By mawbima 2017-10-12

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත්වීමත් සමඟම දෙමළ ජාතික සන්ධානය යටතේ උතුරු පළාතට තරග කිරීම සඳහා අපේක්‍ෂකයන් 4,000කට වඩා වැඩි පිරිසක් අයැදුම්පත් යොමු කොට ඇත.
ඔවුන්ගෙන් 2,500කට වඩා වැඩි පිරිසක් තරුණ තරුණියන් වන අතර මන්නාරම දිස්ත්‍රික්කයෙන් හැරෙන්නට සෙසු සියලුම දිස්ත්‍රික්කවලින් විශාල කාන්තා නියෝජනයක් ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

මේ ඉල්ලුම්පත් සලකා බලා ඔවුන්ට අපේක්‍ෂකත්වය ලබදෙන්නේද නැද්ද යන්න තීරණය කිරීම දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අමතරව ඒ ඒ පළාතේ සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ මෙන්ම, පළාත් සභාවේ මන්ත්‍රිවරයාගේද නිර්දේශය ලබා ගැනීමට තීරණය කොට තිබේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය වන ඉලංකෙයි තමිල් පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා සියලුම මන්ත්‍රිවරුන් වෙත දැනුම්දීමක් කරමින් පවසා ඇත්තේ කිසිදු අයැදුම්කරුවකුට බලාපොරොත්තු ඇති කරගත හැකි අන්දමේ පිළිතුරු ලබාදීමෙන් වළකින ලෙසයි.

ඔවුන් සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවා අවසන් තීරණයකට එළැඹෙන තුරු ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පූර්ව නිගමනයකට නොපැමිණෙන ලෙසද මන්ත්‍රිවරයා දැනුම්දී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon