රාජ්‍ය නිලධාරි යාන්ත්‍රණයේ සැලසුම් අහේනියෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දැවැන්ත ව්‍යසනයක් අත ළඟ

  👤  2448 readers have read this article !
By mawbima 2017-10-12

ජේ.ටී. ද සිල්වා

රාජ්‍ය නිලධාරීන්ගේ යාන්ත්‍රණයේ සැලැසුම් සහගත නොතකා හැරීමක් හේතුවෙන් දැවැන්ත ව්‍යසනයක පාමුලට බදුල්ල දිස්ත්‍රික්කය රැගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මාස හතරකට වැඩි කාලයක් දැන සිටි අනතුරු හඟවා තිබූ තත්ත්වයක්, ස්වාභාවික හදිසි ආපදාවක් වන්නේ නැතැයිද එය දේශපාලනික අවශ්‍යතාව සඳහා සැකසූ සැලසුම් සහගත නිලධාරි කුමන්ත්‍රණයක් බවද එම නිවේදනය මඟින් පෙන්වා දී ඇත.

උමා ඔය ව්‍යසනය හේතුවෙන් වැඩිම අවදානමට ලක්වී ඇති දික්අරාව, දෝව ප්‍රදේශවල ජනතාවට "තමාගේ ආරක්ෂාව තමාම සලසාගන්නා ලෙස" ඇල්ල ප්‍රාදේශීය ලේකම් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් විසින් ලැජ්ජා සහගතවූද ම්ලේච්ඡවූද දැන්වීමක්, නියෝගයක් ලෙස නිකුත් කර ඇතැයි එම කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් නමින් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වෙයි.

ඉදිරි මාස කිහිපයේදී ඇතිවිය හැකි දේපළ හා ජීවිත හානි සඳහා වන්දි ගෙවීමේ වගකීමෙන් ගැලවීම හා සිතාමතා ජීවිත අනතුරක් සිදුකිරීමේ චෝදනාවෙන් ගැලවීම සඳහා ස්ථිර ලිඛිත සාක්ෂියක් ලෙස අනාගයේදී යොදාගැනීමේ අරමුණෙන් මරණ වරෙන්තුවක් වැනි මේ ලිපිය නිකුත් කර ඇතැයිද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

රුපියල් මිලියන හාරසීයකට වැඩි ප්‍රමාණයක් සහන සැලසීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මඟින් බදුල්ලට නිකුත් කර ඇතත් එම මුදලින් තාවකාලික එක් නිවෙසක් හෝ ඉදි නොකළ එකම කූඩාරමක් හෝ ටකරං මඩුවක් සකස් කර නැති, එකම බිම් අඟලක් ජනතාව වෙත බෙදාදී නැති, එකම වැසිකිළියක් හෝ සාදා දී නොමැති, එකම නළ ළිඳක් හෝ ඉදිකොට නොමැති, වගා සහන කන්න තුනකින් ගෙවා නැති පරිසරය ජනතාව අන්ත අසරණ භාවයට පත්ව ඇතැයිද එම නිවේදනයෙහි දැක්වෙයි.
එසේ තිබියදී මහවැලි අමාත්‍යාංශ ලේකම්, බදුල්ල දිස්ත්‍රික් ලේකම්, උමා ඔය ව්‍යාපෘති නිලධාරීන්, සහන කාර්යාලයේ නිලධාරීන්, පවුල් 150කට වැඩි පිරිසකට "වැසි වැටේ නම් ඉවත්වනු" යැයි කියන බවද එම නිවේදනය මඟින් පෙන්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්