ගොළු බිහිරි මවුපියන් සෙවණේ අගහිඟකම් මැද ශිෂ්‍යත්වය සමත් වූ ඉබ්බාගමුවේ ලක්ෂිත

  👤  2601 readers have read this article !
By mawbima 2017-10-12

ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක් වන කිඹුල්වානාඔය, යුනිට් තුන, මහසෙන් කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහු නමින් ඒ.ඩී. ලක්ෂිත රුවන් කුමාරය. මේ පාසලේ වසර හැට එකක ඉතිහාසය තුළ මෙතෙක් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ඇත්තේ දරුවන් හය දෙනකු පමණක් වන අතර ලක්ෂිත රුවන් ඇතුළු ඉන් තිදෙනකුම සමත් වී ඇත්තේ මෙවරය. ඔහු ලකුණු 166ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව කඩඉම පසුකර යෑමට සමත්ව සිටී.

මොහුගේ පියා වන ඒ.ඩී. ශිලන්ත කුමාර ගස් නැඟ පොල් කැඩීම රැකියාව ලෙස කරනු ලබන අතර මව නිවෙසේ කටයුතු කරමින් දෛනික කුලී වැඩවලද නිරත වේ. ලක්ෂිත රුවන් දරුවාට උසස් පෙළ හදාරන වැඩිමහල් සහෝදරයකු සිටින නමුදු පවුලේ නැතිබැරිකම් නිසා ඔහු කුඩා කල සිටම ජීවත් වෙන්නේ ඥාතියකුගේ නිවෙසකය. ඒ නිසාම ලක්ෂිතට සිය වැඩිමහල් සොයුරා වෙතින් තමන් නොදන්නා දෙයක් අසා දැන ගැනීමේ අවස්ථාව හිමි නොවීය. එසේම මව හා පියා ගොළු හා බිහිරි බවින් පීඩා විඳින අතරම ඔවුන්ට විෂය කරුණු පිළිබඳ කිසිදු අවබෝධයක්ද නොවූ බැවින් ලක්ෂිත දරුවාට නිවෙස තුළදී කිසිවකුගේ මඟ පෙන්වීම ලබා ගැනීමේ අවස්ථාවක් නොලැබිණි. කෙසේ වෙතත් පාසලේ පහ වසර පන්ති භාර ගුරුතුමියගේ හා ගුරු මණ්ඩලයේ මඟ පෙන්වීම මත ක්‍රමානුකූලව අධ්‍යාපන කටයුතු මෙහෙයවා ගැනීමට ලක්ෂිත සමත් වූ අතර සවස් කාලයේදී අසල්වැසියන්ගේ උපකාර ලබා ගැනීමට තමන් කටයුතු කළ බව ලක්ෂිත පවසයි. එසේම ශිෂ්‍යත්ව විභාගය සමත් වූ අයුරින්ම ඉතා උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගයද සමත් වීම තම අරමුණ බව ලක්ෂිත කියා සිටී.මේ දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා පාසලෙන් බැහැරව උපකාර කළ අසල්වැසියකු වන ඒ.ඩී. අමරසූරිය මහතා ප්‍රකාශ කළේ ලක්ෂිත දරුවා මව හා පියා සමඟ හස්ත සංඥා මඟින් අදහස් හුවමාරු කර ගනිමින් පාසල ඇරී නිවෙසට පැමිණ අසල්වාසීන්ගේද උපකාර ලබා ගනිමින් කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කළ බවයි. එසේම ප්‍රදේශයේ සමෘද්ධි සමිතිය මඟින් මෙම දරු පවුලට කුඩා නිවෙසක්ද ඉදිකර දුන් බව ඔහු පවසයි. ශිෂ්‍යත්ව විභාගය සමත්වීම පිළිබඳ සතුට පළ කරන ලක්ෂිත ඒ සඳහා දායක වූ පන්ති භාර ගුරුතුමිය, විදුහල්පතිතුමා හා ගුරුමණ්ඩලයට මෙන්ම ගමේ අසල්වැසියන්ටද ස්තූතිය පුද කරයි.

හිරියාල - කේ.පී. සුනිල්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon