අපිව හදා වඩාගන්න අම්මා විඳින දුක උහුලන්න බෑ

  👤  2710 readers have read this article !
By mawbima 2017-10-12

පිය සෙනෙහස අහිමිව නිමක් නැති දුක් ගැහැට විඳිමින් ජීවත් වන දිරිය දියණියක් 2017 වසරේ ශිෂ්‍යත්ව කඩඉම ජයගත් පුවතක් ගලේවෙල අධ්‍යාපන කලාපයේ තලකිරියාගම මහා විද්‍යාලයෙන් වාර්තා වේ. ඇය ඩබ්ලිව්.ජී. තරුෂි ඉෂාරා ජයකොඩි නම් වේ. ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව 168කි. තරුෂිගේ මව වන ඒ.ඒ.අයි. ජානකී අතපත්තු සිය දුක්බර කතාව අප සමඟ මෙසේ පැවැසුවාය.

"අපි ජීවත් වුණේ පොළොන්නරුවේ. 2013 දී සැමියා මියගිය පසු අපි ගනේමුල්ලටත් එතැනින් ගලේවෙල මීවලපතහ ගමටත් පදිංචියට ආවා. වැඩිමල් පුතා සාමාන්‍ය පෙළ ලියා ගෙදර නැවතුණා. දෙවැනි පුතා වන සහන් හසකැලුම් ජයකොඩි පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබද්දී 2012 දී ශිෂ්‍යත්වය සමත් වුණා. දැන් ඔහු ආර්ථික අපහසුකම් මධ්‍යයේ අතිරේක පන්ති නොගොස් තලකිරියාගම මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබනවා. මගේ එකම දියණිය තරුෂි ලකුණු 168ක් ලබාගෙන මෙවර ශිෂ්‍යත්වය ජයග්‍රහණය කළා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු හා ජීවත් වීමට මුදල් සොයා ගන්නේ ගඩොල් කපා අලෙවි කරලයි. රාත්‍රි කාලයේදී පවා විදුලිය දමාගෙන ගඩොල් කපනවා. වෙනත් ආදායමක් අපට නැහැ. සමෘද්ධි දීමනාවවත් අපට ලැබෙන්නේ නැහැ. ඇතැම් දිනවල කුලියටත් යනවා. බැරිවෙලාවත් අසනීප වුවහොත් මුළු පවුලම බඩගින්නේ. මගේ සහෝදරයකුත් ආබාධිත වී සිටින නිසා ඔහු රැක බලාගන්නෙත් මමයි. වේලක් හැර වේලක් කාලා හරි මේ දරුවන් දෙදෙනාගේ ඇස් පාදා දීම මගේ එකම අරමුණයි. නමුත් ආර්ථික දුෂ්කරතා නිසා මගේ යුතුකම් ඉටුකර ගැනීමට නොහැකි වේ යැයි බියක් දැනෙනවා. අනේ කවුරුහරි පියා නැති මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදවු කරනවා නම් ලොකු පිනක්" යැයි කඳුළු පිස දමමින් ඇය පැවැසුවාය.

තරුෂි සිසුවිය මෙසේ පැවැසුවාය. "ශිෂ්‍යත්වය ජය ගැනීම ගැන හුඟාක් සතුටුයි. පියා නැතිව අපිව හදාවඩා රැකබලාගන්න අම්මා විඳින දුක උහුලන්න බෑ. මගේ එකම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වී රටට සේවයක් කිරීමටයි. මගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා පරිත්‍යාගශීලි කවුරුහරි උදවු කරනවා නම් පින් සිද්ධ වෙනවා. මගේ ජයග්‍රහණය පිටුපස සෙවණැල්ලක් මෙන් සිටි විදුහල්පති අනුර කුමාරගම මහතාටත් පන්ති භාර චන්ද්‍රා මාලනි මැණිකේ ගුරු මෑණියන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඔවුන් අපට නොමිලේ පන්ති පවත්වා අධ්‍යාපනය ලබා දුන්නා. "දිළිඳුබවේ පතුලට වැටී ඇති මෙම පවුලේ සිහිනය සැබෑ කර ගැනීමට පරිත්‍යාගශීලි ඔබගේ උපකාරය ඔවුහු බලාපොරොත්තුවෙන් සිටිති.

මවගේ දුරකතන අංකය 072-7205399
විදුහල්පතිගේ දුරකතන අංකය 071-4410260
මවගේ ගිණුම් අංකය - 80600422 ලංකා බැංකුව ගලේවෙල
ගලේවෙලෙ - තිලක් පල්ලේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon