ජන හදවත්වල තුන් කල්හිම රැඳුණු ඇස්. ද ඇස්. ජයසිංහ

  👤  3667 readers have read this article !
By mawbima 2017-09-26

අගනුවරට ආසන්නව පිහිටි දෙහිවල ප්‍රදේශයෙහි අතීතය ගැන කරුණු සොයාබැලීමේදී ජයසිංහ නාමය එහි රන් අකුරින් සඳහන් විය යුතු යැයි පැවැසීම අතිශයෝක්තියක් නොවේ. ජයසිංහ මහතා සිය දිවියෙන් හරි අඩකටවත් වැඩි කාලයක් දේශපාලනය සඳහා කැපකිරීමෙන් කළ පොදු ජන සේවාව දෙහිවල ජනතාවට කරන ලද ජනතා උපහාරයකි.

කොහුවල පැපිලියාන ග්‍රාමයෙහි උපත ලැබ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලැබූ ජයසිංහ මහතා දෙහිවල _ ගල්කිස්ස ජනතාවගේ හදවතට සමීපව කටයුතු කළ උදාර ජනතා සේවකයෙකි. රජයේ සේවකයකු වශයෙන් රැකියාවට පිවිසි ඔහු ටික කාලයකදී එයින් ඉවත්වී ව්‍යාපාරිකයෙක් වශයෙන් තම ජීවන ගමන ආරම්භ කර සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත්විය. එතුමාගේ ගාමිණී බස් රථ සමාගම මඟින් මහජනතාවට ඉමහත් සේවාවක් කළ බව ප්‍රකටය. නොමිලේ බස් ගමන් සඳහා අවසර පත්‍ර ලබා තිබෙන වැඩිහිටියෝ තවමත් අප අතර සිටියි. ඔවුන් එය අගය කරමින් අදටත් කතා කිරීම අපටද ඉමහත් ආඩම්බරයකි.

1944 දේශපාලනයට පිවිසි එතුමා දෙහිවල _ ගල්කිස්ස පළාත් ආණ්ඩු සභාවේ සභිකයකු වශයෙන් තම නිජබිම වන කොහුවල කොට්ඨාසයට තරග කර විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දේශපාලන ගමන් මගේ මුල් පියවර තැබීය. 1944-1977 දක්වා පුරා වර්ෂ 33ක් ඔහු එම කොට්ඨාසය නියෝජනය කරමින් පළාත් පාලන ක්ෂේත්‍රයෙහි සදා නොමැකෙන අමරණීය සේවාවක් පළාත්වාසීන්ට ඉටුකරන ලදී. දෙහිවල _ ගල්කිස්ස පළාත් පාලන සභාවෙහි සභාපති වශයෙන් කටයුතු කළ ජයසිංහ මහතා 1963 වර්ෂයේ පැවැති මහ නගර සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබාදෙමින් කොට්ඨාස 19න් 13ක ජයග්‍රහණය ලබාගෙන 1964 ජනවාරි 8 වැනි දින දෙහිවල _ ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරයට පත්විය.

1952 මැයි මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් වැල්ලවත්ත _ ගල්කිස්ස අසුනට තරග කර, තම ප්‍රතිවාදී අපේක්ෂකයා වන අධිනීතිඥ ආචාර්ය කොල්වින් ආර්. ද. සිල්වා මහතා පරාජය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. 1965 මාර්තු මස පැවැති මහ මැතිවරණයේදී තෙවැනි වරටත් ආචාර්ය කොල්වින් ද සිල්වා මහතා පරාජය කර සිය අසුන ජයගත් ජයසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නි. ඇමැති ධුරයකින් පිදුම් ලැබීය. 1977 පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් යළිත් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ජයසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ ධීවර අමාත්‍ය ධුරයට පත්විය.
මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන යන එක්සත් ජාතික "පක්ෂයේ එදා සිටි නායකයන් ඉතා කිට්ටුවෙන් ජයසිංහ මහතා ආශ්‍රය කළ බව ප්‍රකටය.

1955 ජුනි මස 9 දින මහා බි්‍රතාන්‍ය දෙවැනි එලිසබත් මහ රැජිනගේ ශ්‍රී ලංකා ගමනේදී ජයසිංහ මහතා ඕ.බී.ඊ. ගෞරව නාමය ලබාදෙන ලදී. එක්සත් ජාතික පක්ෂයටත්, එම නායකත්වයටත් අවංකව, කැපවීමකින් කටයුතු කළ ජයසිංහ මහතා 1957 එක්සත් ජාතික පක්ෂය මෙහෙයවූ ඓතිහාසික කොළඹ සිට මහනුවර දක්වා ගිය විරෝධතා පා ගමනේ පෙරමුණ ගෙන ක්‍රියා කළ බව ජේ.ආර්. ජයවර්ධන මහතා ජයසිංහ මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී කළ කතාවේදී ප්‍රකාශ කළ බව ජනතාවට හොඳින් මතක තිබේ.

ද. කොළඹ කළුබෝවිල මහ රෝහල, දෙහිවල _ ගල්කිස්ස නාගරික ජනතාවට නළ ජලය ලබාදීමේ ජයසිංහ මහතාගේ කාලයේ ඇතිවූ යෝධ සංවර්ධනයන්ගෙන් බිඳකි.
1977 සැප්තැම්බර් මස 26 වන දින එතුමා අප අතරින් වෙන්ව යෑම එතුමාගේ පවුලේ සාමාජිකයන්ට පමණක් නොව මුළු මහත් දෙහිවල ජනතාවටම දැරිය නොහැකි ශෝකයක් විය.

එහෙත් 1977 නොවැම්බර් 11 වැනි දින පැවැති අතුරු මැතිවරණයෙන් දෙහිවල ආසනය ජයග්‍රහණය කරමින් ජයසිංහ මහතාගේ ජේ‍යෂ්ඨ දියණිය සුනේත්‍රා රණසිංහ මහත්මිය දෙහිවල ජනතාවගේ නියෝජිතයා ලෙස පත්වීම විශාල ශක්තියකි. තම පියාගෙන් ලැබූ පන්නරයෙන් පියාගේ අඩි පරේ ගමන් කරමින් ජයසිංහ මහතාගේ සේවය තව තවත් අර්ථවත් කරමින් නගරාධිපතිනියක්, නි. ඇමැතිවරියක්, කැබිනට් ඇමැතිවරියක් ලෙස පුරා වර්ෂ 40ක ජනතා සේවය අවංකව, කැපවීමකින් පක්ෂග්‍රාහිකව කටයුතු කිරීම අගය කරමින් එතුමිය ජයසිංහ මහතා ජනතාවට ලබාදුන් දායාදයක් ලෙස හැඳින්විය හැකිය.

පී.අමරසේන (රාජා) පීරිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon