ලංකාවට ලෝක කුසලානයට යන්න එංගලන්තය පාර කපයි

  👤  3071 readers have read this article !
By mawbima 2017-09-21

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (19දා) පැවැති පළමු තරගයේදී කොදෙව් කණ්ඩායම පරදා එංගලන්තය කඩුලු 7ක ජයග්‍රහණයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග ශේ‍ර්ණිගත කිරීමේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පැමිණ නිරායාසයෙන්ම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමට අවස්ථාව සැලසී ඇත.

එළැඹෙන 2019 වසරේ මැයි මස 30 වැනිදා සිට ජූලි මස 15දා දක්වා එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට නම් මෙම සැප්තැම්බර් මස 30දාට පෙර පැවැත්වෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ප්‍රතිඵලයන්ට අනුව ශේ‍ර්ණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු කණ්ඩායම් 8 අතරට පැමිණිය යුතුව ඇත. ඒ අනුව 9 වැනි ස්ථානයේ සිටි කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාව අබිබවා 8 වැනි ස්ථානයට පැමිණීමට නම් එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය 4-0කින් හෝ 5-0ක් ලෙසින් කොදෙව් කණ්ඩායම ජයගත යුතුව තිබිණි.

එහෙත් පෙරේදා කොදෙව්වන් ලද පරාජයත් සමඟ මේ වනවිට ශේ්‍රණිගත ලකුණු 86ක් ලබා 8 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම පසුකර යෑමට බටහිර ඉන්දීය කොදෙව් පිලට (ශේ‍ර්ණිගත ලකුණු 78ක් ලබා සිටින) දැන් අවස්ථාව අහිමි වී ඇත. එනම් පෙරේදා එංගලන්තයේ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති දිවා/රාත්‍රි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පන්දුවාර 42කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන්ට ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණි. ඊට පිළිතුරු දීමට පැමිණි එංගලන්තය පන්දු 67ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකළ අතර එංගලන්ත ආරම්භක පිතිකරු ජොනී බෙයර්ස්ටොව් පන්දු 97කින් තම මංගල එක්දින ශතකයද වාර්තා කොට ජයග්‍රහණයේ නියමුවා විය.

කෙසේ වෙතත් 1975 හා 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවන්හිදී ශූරතාවට හිමිකම් කී කොදෙව් පිලට 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට නම් අයි.සී.සී. ශේ්‍රණිගත කිරීම් ලැයිස්තුවේ පහළම ස්ථාන තුනේ පසුවන ඇෆ්ගනිස්ථානය, සිම්බාබේවේ සහ අයර්ලන්තය සමඟ මෙන්ම අයි.සී.සී. ලීග් ශූරතාවලියේ පළමු කණ්ඩායම් 4 සහ අයි.සී.සී. ලෝක ක්‍රිකට් ලීග් 2 වැනි කොටසේ පළමු කණ්ඩායම් 2 සමඟ තරග වැදීමට සිදු වුණු ඇත. ලබන 2018 වසරේ පැවැත්වෙන මෙකී කණ්ඩායම් 10 සහභාගි වන තරගාවලියෙන් ඉහළටම පැමිණෙන කණ්ඩායම් දෙක මේ වනවිටත් සුදුසුකම් ලත් ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 8 සමඟ 2019 ලෝක කුසලානයට සහභාගි වනු ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්