මහ ඇමැති විග්නේශ්වරන්ට එරෙහිව හිටපු පළාත් ඇමැතිගෙන් පෙත්සමක්

  👤  3029 readers have read this article !
By mawbima 2017-09-21

කමල් මහේන්ද්‍ර වීරරත්න

නීති විරෝධීව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව යමින් තමා ඇමැති ධුරයෙන් ඉවත් කරන ලදැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ධීවර හා ප්‍රවාහන ඇමැති බී. දෙනීශ්වරන් විසින් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනු කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ විමසුමට ලක්විය.
එල්.ටී.බී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම විමසුමට ලක්විය.
මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස උතුරු පළාත් මහ ඇමැතිවරයාට අමතරව පළාත් සභා අමාත්‍ය මණ්ඩලයද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාද නම් කොට ඇත.

තමා ඇමැති ධුරයෙන් නෙරපන ලද බවට ඉකුත් අගෝස්තු මස 20 වැනි දින මහ ඇමැතිවරයා විසින් ලිපියක් නිකුත් කොට ඇති බවද එහෙත් එසේ ක්‍රියා කිරීමට ඔහුට කිසිදු නීත්‍යනුකූල බලයක් නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.

තවද ඇමැති ධුරයෙන් ඉවත් කිරීමේ බලය ඇත්තේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහ ඇමැතිවරයාට නොව ආණ්ඩුකාරවරයාට බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින් ඔහුගේ ලිපිය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එතෙක් පෙත්සම් විභාගය ආරම්භයේදීම එම නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම හා ඒ සම්බන්ධයෙන් පෙත්සම් පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිශ්චය මණ්ඩලය වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසි නිකුත් කිරීමත් ඉල්ලා සිට ඇති අතුරු නියෝගය නිකුත් කිරීමත් සම්බන්ධයෙන් තම නියෝගය ලබාදීම ඔක්තෝබර් මස 3 වැනි දිනට කල් තබමින් පෙත්සමද එදිනට යළි කැඳවීමට දින නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්