අඩක් පුලුස්සා මිහිදන් කළ මළ සිරුරු සොයා ‘නිසල නිම්නයේ’ සුසානය කලඹයි

  👤  3178 readers have read this article !
By mawbima 2017-09-21

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

විජයපුර නිසල නිම්නය පොදු සුසාන භූමියේ පිහිටි ආදාහනාගාරයෙන් අඩක් පුලුස්සා මිහිදන් කළ බව කියන මළ සිරුරු සොයා ඊයේ (20දා) එහි කැණීම් සිදු කෙරිණි. ඒ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. සංජීව මහනාම හා අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස් අජන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඉදිරියේදීය.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂන් මහතා ලබාදුන් නියෝග මත සුසාන භූමියේ මළ සිරුරු වළ දැමූ බව කියන වළ හෑරීමෙන් අනතුරුව අඩක් පිලිස්සුණු හිස සහිත මළ සිරුරක කොටසක් වළෙහි තිබී ගොඩට ගැනීමෙන් අනතුරුව මූලස්ථාන පොලිසියේ නිලධාරීහු එම මළ සිරුරු කොටසේ හා හිසෙහි දිග, පළල හා මැන ගත්හ.

අනතුරුව මළ සිරුරු කොටස් යළි වළ දැමීමට කටයුතු කළ අතර තවත් මළ සිරුරු වළ දැමීමට හෑරූ බවට සැකකරන වළක්ද පොලිසිය මඟින් පස් දමා වසා දැමුවේය.
මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආදාහනාගාර භාරකරු හා සහායකයා තවදුරටත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ආදාහන කටයුතු සඳහා නිකුත් කර තිබෙන ගෑස් සිලින්ඩර හතරක ප්‍රමාණය ඉතිරිකරගෙන ඒවා පිටස්තර පුද්ගලයන්ට අලෙවිකර මුදල් ලබාගැනීමට සැකකරුවන් වංචා සහගතව ක්‍රියාකර ඇති බව පැවැති පරීක්ෂණවලදී අනාවරණය විය. දැනට ආදාහනාගාරයේ හා සුසාන භූමියේ සේවයේ නියුතු සියලුම සේවකයන් ස්ථාන මාරු කිරීමට හා සිද්ධියට සම්බන්ධ බවට සැකකරන දෙදෙනකුගේ වැඩ තහනම් කිරීමටත් නාගරික කොමසාරිස්වරයා කටයුතු කර ඇත.

මේ වනවිට ආදාහනාගාරයට තාවකාලිකව මුද්‍රා තබා ඇති අතර ඉදිරි සතියේදී එය විවෘතකරන බව නාගරික කොමසාරිස්වරයා පැවසුවේය. සුසාන භූමියේ සේවයට නව සේවකයන් යොදවා තිබෙන බවත් ආදාහනාගාරය ආවරණය වන පරිදි ආරක්ෂිත කැමරා පද්ධතියක් (සී.සී.ටී.වී.) ස්ථාපිත කරන බවත් නාගරික කොමසාරිස්වරයා පැවැසුවේය. දැනට කර තිබෙන පොලිස් පරීක්ෂණයන්හි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මේ මස 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon