රක්ෂිතයෙන් කැපූ දැව තොගය සමඟ ලොරිය අනතුරක

  👤  3098 readers have read this article !
By mawbima 2017-09-21

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ - මඩුකන්ද - දීපාල් බණ්ඩාර

වවුනියාව ඕමන්ත පෙරියමඩු රක්ෂිතයේ සිට රහසිගතව දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පසුපස ඊයේ (20දා) අලුයම පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරීන් ලුහුබඳින අතරතුර දැව ලොරිය පෙරළී අනතුරට ලක්ව ඇති බව වවුනියාව පොලිසිය කියයි.
ඕමන්ත පෙරියමඩු රක්ෂිතයේ සිට අදාළ දැව තොගය ප්‍රවාහනය කරන බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සහ වවුනියාව වන සංරක්ෂණ නිලධාරීන් පිරිසක් පෙරියමඩු රක්ෂිතයට පිවිසෙන මාර්ගයේ ඊයේ (20දා) අලුයම රැකවල් යොදා සිටි අතර අලුයම 1.20ට පමණ අදාළ දැව පටවාගත් ලොරිය පැමිණ ඇත.

දැව රැගත් ලොරිය නවත්වන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අණ දුන්නද දැව ලොරියේ රියැදුරා ඒ අණ නොතකා ලොරිය ධාවනය කොට ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා වන සංරක්ෂණ නිලධාරීන් අදාළ ලොරිය පසුපස ලුහුබැඳ තිබේ. දැව ලොරිය ඒ - 9 මාර්ගයේ අධික වේගයෙන් ධාවනය කොට තාණ්ඩිකුලම් ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් හරහා අතුරු මාර්ගයකට දැමීමට උත්සාහ දැරීමේදී වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇත.
ලොරිය පෙරැළී යෑමෙන් පසු එහි රියැදුරු පලාගොස් ඇත. පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් හා වන සංරක්ෂණ නිලධාරීන් විසින් අදාළ ලොරියත් එහි තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් බුරුත දැව තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. පැන ගිය රියැදුරු සොයා වවුනියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon