දැරියකට අතවර කළ දෙදරු පියකුට වසර 15ක සිර දඬුවමක්

  👤  3112 readers have read this article !
By mawbima 2017-09-21

කේ.එස්. උදය කුමාර්

මවුපිය රැකවරණය නොමැතිව ජීවත් වූ දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ දෙදරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවමක් නියම කළේය.
ඊට අමතරව රුපියල් 15,000ක දඩයක් විත්තිකරුට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර 02ක සිර දඬුවමක් පමුණුවන බවද තීන්දුවේ සඳහන් කළේය.
අතවරයට පත් දැරියට රුපියල් ලක්‍ෂ 02ක වන්දියක් ගෙවිය යුතු බවත් එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර 04ක සිර දඬුවම් පමුණුවන බවද නඩු තීන්දුවේ වැඩිදුරටත් සඳහන් විය.

තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සඳහන් කළේ අතවරයට පත් දැරිය මවුපිය රැකවරණයක් නොමැතිව ජීවත් වූ තැනැත්තියක් බවයි.
අතවරයට පත් දැරියගේ මව විදේශගත වී ඇති බවත් පියා හැරගොස් ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
"ඇය ජීවත් වුණේ තම මිත්තණියගේ රැකවරණය මත. අතවරය සිදුවන විට ඇය 13 හැවිරිදි වියේ පසුවූ බව සාක්‍ෂිවලින් අනාවරණය වුණා. මෙවැනි වාතාවරණයක තමා විත්තිකරු මෙම අපරාධය සිදුකර තිබෙන්නේ" යැයි සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා අපරාධය කළ අවස්ථාවේ විත්තිකරු 33 වියේ පසු වූ දෙදරු පියකු යැයි ද කීය. පොලිස් සාක්‍ෂි මෙන්ම අධිකරණ වෛද්‍ය සාක්‍ෂිවලින් ද විත්තිකරු අතින් වින්දිත දැරිය අතවරයට ලක් කළ බවට පැමිණිල්ල විසින් එල්ල කරන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි ප්‍රකාශ කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරු වරදකරු කරන බව සඳහන් කළේය.

මෙවැනි සිද්ධීන් සුළුවෙන් තැකීමට හැකියාවක් නොමැති බැවින් මෙම දඬුවම පනවන බව ද විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කළේය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ යොහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්