දෙමළ ජනතාව මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ආත්මාභිමානයෙන් යුතුව ජීවත්වීමේ අයිතියයි

  👤  3113 readers have read this article !
By mawbima 2017-09-21

යුද්ධයෙන් පීඩාවට හා වේදනාවට පත්ව සිටින උතුරේ තරුණ තරුණියන්ට අවශ්‍යව ඇත්තේ නිකම්ම නිකම් අනුකම්පාව නොවන බවත් ඔවුන්ගේ මනස හඳුනාගත් අවබෝධාත්මක අනුකම්පා සහගත ක්‍රියාත්මකවීමක් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් පසුගියදා කිලිනොච්චියේ පැවැති උත්සවයකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා මෙසේද කීය.

අද වැඩසටහනේ මාතෘකාව වන්නේ සැවොම සමාන යන්නයි. අන් අයගේ උපකාරයෙන් ජීවත් වන ආබාධිත පුද්ගලයන්ටත් අවස්ථා ලබා දෙමින් ඔවුන්ටත් සමාජයේ සම අවස්ථා ලබාදීම කෙරෙහිද අවධානය යොමු කරනු ලබන වැඩසටහනක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
ආබාධිත පුද්ගලයන්ට වසර 3ක කාලයක් වෘත්තීය පුහුණුව ලබාදී පසුව ඔවුන් රැකියා සඳහා අනුයුක්ත කර තිබෙනවා. මෙය ඉතාමත් සාර්ථක උත්සාහයක් ලෙසයි මම දකින්නේ.

යම් දරුවකු අන්ධව ඉපදුණහොත් ඔහුව ආබාධිතයෙක් යැයි ඒ මවුපියන් ඒ දරුවාට අමතන්නේ නැහැ. ඒ වගේම එසේ ඇමැතීම සිදු නොකළ යුත්තක්. ඔවුන් කළ යුත්තේ එම දරුවාගේ හැකියාවන් හඳුනා ගැනීමට උත්සාහ කිරීමයි. දෙවියන්ගේ මල් උයනේ වුවත් විවිධ මල් පිපෙනවා. මේ දරුවන් පිළිබඳවත් අපි සිතිය යුත්තේ එසේයි.
ආගමික වශයෙන් ජන කොටස් වශයෙන් ප්‍රාදේශීය වශයෙන් යමකු වෙනස්කමකට හෝ භේද කිරීමකට ලක් කළහොත් ඔවුන් කෝපයට පත් වෙනවා ඇත. එසේත් නැතිනම් ඔවුන්ගේ කෝපයට අප ලක්වීමට පුළුවන්. අපි සියල්ලෝම දෙවියන්ගේ උයනේ මැවුණු විවිධ මල්. එසේ සිතා කටයුතු කිරීමෙන් අප කා අතරත් බෙදීම් විරසකවීම ඇති වන්නේ නැහැ.

දෙමළ ජනතාව වන අපත් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අපගේ අයිතීන්, උරුමයන් හා ආත්ම අභිමානයෙන් ජීවත්වීමේ අයිතියයි. මේ අයිතීන් පිළිබඳව අපි කොතරම් කතා කළත් ඒවා අපගේ ජනතාවට ලැබී තිබෙනවාද යන්න විමසා බැලිය යුතුයි. අපි අප අතරම පවතින වෙනස්කම් දුර්වලකම්වලට කෙනෙහිලිකම් කිරීම නොකළ යුතුයි. අපෙන් බොහොමයක් පිරිස් ශාරීරිකව හා මානසිකව පීඩාවෙන් පෙළෙන අයයි. එසේ තිබියදී ජාති, කුල මල, ආගම් ආබාධිතයන් මේ ආදී ලෙස පුද්ගලයන් වෙනස් කොට සැලකීමක් සිදු වෙනවා දකින්න පුළුවන්. එයින් සිදු වන්නේ ඔවුන් තුළ කෝපයක්, තරහවක්, වෛරයක් හට ගැනීම පමණයි. කළ යුත්තේ. ඔවුන්ගේ වෙනස්කම්වලට ගරු කරමින් කටයුතු කිරීමයි.

මීට කාලයකට පෙර සම්මුඛ පරීක්ෂණයක් සඳහා මා හමුවීමට තරුණයෙක් පැමිණියා. ඒ කාලයේ මම දේශපාලනඥයකු නෙවෙයි. එම තරුණයා විශේෂ අවශ්‍යතා ඇති අයෙක්. මම සන්නිවේදන උපදේශකයෙක් ලෙස කටයුතු කළා. ඒත් ඔහුව මට තෝරා ගන්න බැරි වුණා. ඒ ඉතා සුළු ලකුණු සංඛ්‍යාවක් අඩුවීම නිසා. මට කනගාටුයි. මට ඔබව තෝරා ගන්න විදියක් නැති බව මම ඔහුට පැවැසුවා. ඊට ඔහු දුන් ප්‍රතිචාරය මට කවදාකවත් අමතක වෙන්නේ නැති පාඩමක් වුණා. මට ඔබගේ අනුකම්පාව අවශ්‍ය නැහැ. මාගේ තාක්ෂණික දැනුම හැකියාව මේ රැකියාවට ප්‍රමාණවත් දැයි බලන්න නැත්නම් මා යවන්න. එසේ නැතිව මට ඔබගේ අනුකම්පාවක් අවශ්‍ය නැහැ. ඔහුගේ ප්‍රතිචාරය වුණා.

මගේ අතින් වරදක් සිදුවුණාය යන හැඟීම මට එදා ඇති වුණා. මම ඔහුව රැකියාවක් සඳහා නිර්දේශ කර යොමු කළා. මම එදා දැනගත්තා ඉතා කුඩා වචනයකින් වුවත් කෙනකුගේ සිත රිදවීමට හැකි බව.

යුද්ධය හේතුවෙන් අපගේ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් පීඩාවටත්, වේදනාවටත් පත් වුණා. එහෙත් කවුරුත් ඒ පිළිබඳව කතා කරන්නේ නැහැ. අපි ඔවුන්ට අනුකම්පා කළ යුතුයි. නමුත් ඔවුන්ට නිකම්ම නිකම් අනුකම්පාවක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අනුකම්පා කළ යුත්තේ අපිත් ඔවුන්ගේ මනෝභාවයට ගොස් අවබෝධයෙනුයි, ක්‍රියාවෙනුයි. එයයි සැබෑ අනුකම්පාව කියන්නේ.

ලක්ෂ්මී ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon