පළාත් සභා කාන්තා නියෝජනයට ඇමැතිවරියෝ සටන් වදිති

  👤  3069 readers have read this article !
By mawbima 2017-09-21

ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට චෝදනා කර විපක්‍ෂයේ ක්‍රියාවන්ට විරෝධය දක්වන පළමුවරට ඊයේ (20දා) පාර්ලිමේන්තුවේ පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.

කාන්තා නියෝජනය සියයට 30ක් විය යුතු බවට පළාත් සභා ඡන්ද විමසීම් පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුවේ යෝජනාවට විරුද්ධ පක්‍ෂය එකඟ නොවී විවාදයට බාධා කිරීම මේ පෝස්ටර් ප්‍රදර්ශනයට හේතුවයි.
වෙනදා විපක්‍ෂයෙන් පෝස්ටර් වුවත් මෙවර ආණ්ඩුවෙන් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම කාටත් පුදුමයක් විය. ඇමැතිවරියෝ කිහිපදෙනකුම පෝස්ටර් ප්‍රදර්ශනය කරන විට දිනේෂ් ගුණවර්ධන ඒකාබද්ධ විපක්‍ෂනායක කතා කරමින් සිටියේය.

"කාන්තාවන්ට ඉඩක් නැද්ද?" "ඇයි අපට බයද?" යන වැකි පෝස්ටර්වල සඳහන් විය.
"අපි ඕවට විරුද්ධ නැහැ. නමුත් ඡන්ද කල් දාන එකටයි විරුද්ධ" දිනේෂ් පෝසටර් ගැන එහෙම කීවේය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා කවදත් අලුත් ආරකින් ආරම්භ කරන කෙනෙකි. කාන්තා නියෝජනය ඔහු දැක්කේ සාරි පොටක් ලෙසිනි. කාන්තාවන්ගේ සාරි පොටක එල්ලී මේ කරන්න හදන්නේ ඡන්දය කල් දාන්නයි.

ඇමැතිවරියන් විසින් ප්‍රදර්ශනය කරන ලද පෝස්ටර් ඔවුන්ගේ මේසවල එල්ලා තිබිණි. එවැනි මේසයකට ඉදිරියේ සිටියේ සාගල රත්නායක ඇමැතිවරයාය. මා දන්නේ නැහැ. මේ පෝස්ටර් සාගල රත්නායක ඇමැතිතුමාගේ මේසේ ළඟ ගැහුවේ ඇයි කියලා. ඒ වගේම රුවන් විජයවර්ධන ඇමැතිතුමාගේ මේසේ ළඟත් පෝස්ටර් ගහලා. සජිත් ඇමැතිතුමාගේ ආසනය ළඟත් පෝස්ටරයක් ගහලා. මංගල ඇමැතිතුමාගේ පුටුවට නම් කාන්තාවන් වුවමනා නැහැ. විමල් වීරවංශ කීවේය. සභාවට සිනහ ගියේය.
පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ඉදිරිපත් කිරීමට පෙරාතුව දිනේෂ්
ගුණවර්ධන මන්ත්‍රිවරයා රීති ප්‍රශ්නයක් මතු කරමින්, "මේ පනත පළාත් සභාවලට දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා කතානායකතුමනි ඔබතුමා තීන්දුවක් දෙන්න ඕනෑ. පළාත් සභාවලට මෙය යවන්න අවශ්‍ය නැති බවට" කීවේය.

"මා ඒක ඊයේ හොයලා බැලුවා. අවශ්‍ය නීති උපදෙස් අරගෙනයි කතා කරන්නේ. එහෙම කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒක තමා තීරණය. කතානායක කරු ජයසූරිය දිනේෂ්ට උත්තර දුන්නේය.

විමල් වීරවංශ දිනේෂ්ට සහයෝගය දැක්වීය. "මන්ත්‍රිවරු 225 දෙනා නියෝජනය කරන්නේ ජනතා පරමාධිපත්‍ය බලයයි. සංශෝධන තොගයක් ගෙනත් තියෙනවා."
"විපක්‍ෂයේ බොහෝ දෙනා මා හමුවුණා. මා අගමැතිතුමා සමඟ කතා කළා. රාත්‍රියෙත් කතා කළා. ගැටලු තිබෙනවා නම් අද දහවල් 12.00ට අගමැතිතුමා හමුවී සාකච්ඡා කළ හැකියි." කතානායක උත්තර දුන්නේ විමල් වීරවංශගේ කතාවටය.
"සභාව කල් තබා අගමැතිතුමා සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගනිමු." යැයි නාමල් රාජපක්‍ෂ යෝජනා
කළේය. එහෙත් කතානායකවරයා ඊට එකඟ වුණේ නැත.
"පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාව අනුවයි. විපක්‍ෂයේ ප්‍රශ්න මා ඉදිරිපත් කළා. අද අගමැතිතුමා සාකච්ඡාවක් දෙනවා. ඊට එහා දෙයක් කරන්න බැහැ." ඇමැතිතුමා පනත ඉදිරිපත් කරන්න."

ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පනත ඉදිරිපත් කර කතාව පටන් ගත්තේය. එහෙත් ඔහුගේ කතාව පරයමින් විපක්‍ෂයේ විරෝධයේ හඬ ඇසිණි. කාන්තා නියෝජනය නිර්දේශ කර ඇති අතර කේවල හා සමානුපාතික මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ද යෝජනා කර ඇති බව ඇමැතිවරයා බාධා මැද පැවැසූ බව නම් කිව හැකිය.
ඒකාබද්ධ විපක්‍ෂයම නැඟිට ඝෝෂා කරන්නට වූහ. ඇතැම් මන්ත්‍රිවරුන් කතානායකවරයාටද චෝදනා නැඟූහ. ආණ්ඩු පක්‍ෂයෙන් නලීන් බණ්ඩාර හා හෙක්ටර් අප්පුහාමි විපක්‍ෂයට චෝදනා කළහ.
සභාවේ කටයුතු කරගෙන යෑමට වාඩිවන්නැයි කතානායකවරයා කිහිපවරක්ම ඉල්ලීය. ඉල්ලීම ගණන් නොගෙන විරෝධය දිගටම කරගෙන ගිය විපක්‍ෂය සභාව මැදට එන විට ෆයිසර් මුස්තාපා ඝෝෂාව මැද කතාව අවසන් කර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්ට ඒ අවස්ථාව හිමිවී තිබිණි. ඒකාබද්ධ
විපක්‍ෂය සිටින පැත්තේම සිටින සුමන්තිරන්ගේ කතාවට දැඩි විරෝධයක් එල්ල විය. විවිධ ප්‍රකාශ කරමින් ඒ මන්ත්‍රිවරු සුමන්තිරන් වෙන මඟකට යොමු කිරීමට තැත් කළහ. විපක්‍ෂ මන්ත්‍රිවරුන්ගෙන් "කොටින්ට කඩේ ගියා" යනුවෙන් ද කියැවෙනු ඇසිණි.
සුමන්තිරන්ගේ කතාවට නොනවත්වා බාධා එල්ල වෙද්දී දහවල් 12.00 රැස්වීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේය.
උද්ගතවී තිබෙන තත්ත්වය සමනය කළ හැකි ක්‍රමවේද ගැන අගමැතිට අත්දැකීම් තිබේ. නීතිපතිවරයා පාර්ලිමේන්තුවට කැඳවා ඔහුගේ තීරණය දැන ගත හැකි බව හෙතෙම කතානායකවරයාට පැවැසීය. පක්‍ෂනායක රැස්වීමක් කැඳවිය හැකි බවද කී අගමැතිවරයා එහිදී තීරණයක් ගත හැකි බව ද පෙන්වා දුන්නේය. ඊට පසු කතානායකවරයා පෙ.ව. 11.30ට සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීය.

දහවල් 12.30ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පාර්ලිමේන්තුවට ආවේ ඔහුට ද ලැබුණු කැඳවීමකට අනුවය. ඔහු සමඟ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් ද ආවේය. ඔහු විදුලි සෝපනයකට ගොඩවෙනු දුටු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු "එදා මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ කාලේ මැතිවරණ කොමසාරිස් කොහොමද? ඔළුවට වෙඩි තියනවා කියලා කිව්වේ. අද කොහොමද? අද යන්නේ හැංගිලා!" යැයි නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයාට කීවේය.
"අද ඉතින් වැඩක් නැහැනේ. මැතිවරණ තියන්න එපෑයැ වැඩ කරන්න." නාමල් රාජපක්‍ෂගේ කතාවට ජොන්ස්ටන්ට සිනහ ගියේය.
සභාව අත්හිටුවූ කතානායකවරයා සිය නිල කාමරයට ගිය පසු අගමැති රනිල් වික්‍රමසිංහද එහි ගියේය. දිනේෂ් ගුණවර්ධන
ද ගියේය. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාද සුපුරුදු වේගවත් ගමනින් එහා මෙහා ගියේ සුමන්තිරන් මන්ත්‍රිවරයා සෙවීමටය. ඒ යන විට දිනේෂ්
ගුණවර්ධන මුණගැසිණි. දෙදෙනා ළං වී කතාබහ කළෝය. ෆයිසර් දිනේෂ්ගේ කරට අත දමාගෙනය කතා කළේ. කතාව නිමවා දිනේෂ් අෑත් වෙද්දී ෆයිසර් ඔහුගේ පිටට පහරක් ගැසුවේ සිනහසෙමිනි.

සභාවේ කටයුතු නැවත පටන් ගත් පසු නීතිපතිවරයාගේ තීරණය කතානායක සභාවට දැනුම් දෙමින් පැවැසුවේ සංශෝධන පළාත් සභාවලට යවා අනුමත කරවා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව නීතිපතිවරයාගේ තීරණය වූ බවයි. දිනේෂ්
ගුණවර්ධන පසුව කතා කරද්දී කතානායකවරයා ගනු ලැබූ තීරණය ගැන කනගාටු වන බව ද කීවේය.
සභාව පටන් ගැනීමට පැයකට පමණ පෙර කරට අත දාගෙන කතා කළ දිනේෂ් හා ෆයිසර් මේ අවස්ථාවේ එකිනෙකාට චෝදනා කරගත්හ. දිනේෂ් මන්ත්‍රිතුමා රටේ ජනතාව නොමඟ යවනවායි ෆයිසර් චෝදනා කළේය.

මහ මැතිවරණය ඉවර වුණාට පස්සේ මෙයා කරපු දේ අපි දන්නවා. දිනේෂ්
කීවේය. ඒ සමඟම දෙදෙනා අතර වාග් සංග්‍රාමයක් ඇති විය.
පළාත් සභා ඇමැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට මරණීය දණ්ඩනය දීලා අද මේ පාර්ලිමේන්තුවට ඇවිත් බොරු කරනවා. ලැජ්ජා නැහැ. ඉල්ලා අස්වෙන්න.
දිනේෂ් නැඟූ චෝදනාව බරපතළ එකකි.

දයා පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්