සෞඛ්‍ය හා අධ්‍යාපන වෘත්තීය සමිති 40කුත් එකතු වෙයි

  👤  3123 readers have read this article !
By mawbima 2017-09-21

උදයන්ති මුණසිංහ

"සයිටම් විරෝධී ජන පවුර" අද දින (21දා) සංවිධානය කරන දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනය සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති හතළිහකට ආසන්න ප්‍රමාණයක් එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කරයි.
සයිටම් අර්බුදයට ජනතාවාදී අවසන් විසඳුමක් බලධාරීන් ලබා නොදීමත්, ව්‍යාජ විසඳුම් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ බල අධිකාරිය වෙනත් දේශපාලනික මුහුණුවරක් ගත් නව ව්‍යුහයක් හරහා අඩපණ කිරීමට දරන උත්සාහයටත් එරෙහිව මෙම දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු පවුල් සෞඛ්‍ය සේවා සංගමය, නිදහස් පොදු සේවක සංගමය, එක්සත් ශ්‍රී ලංකා රජයේ සුව සේවා සංගමය, ජනරජ සෞඛ්‍ය පොදු සේවා සංගමය, සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති ගණනාවක් මේ සඳහා එක්වන බව එම සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් සියලුම සාමාජික වෛද්‍යවරුන් අද දින උදෑසන අටේ සිට මෙම ඒකාබද්ධ වැඩ වර්ජනයට එක්වන බවත්, එසේ වුවත් දිවයින පුරා රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්ඩව සිදු කරන බවත්, මාතෘ, ළමා, පිළිකා, හමුදා, රෝහල් ඇතුළු වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවත් ඔවුහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon