ලලිත්ට-අනුෂට ඇප දෙයි

  👤  3281 readers have read this article !
By mawbima 2017-09-21

කේ. එස්. උදයකුමාර්

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් රුපියල්...මිලියන 600ක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි වරදකරු කොට වසර 03ක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ නියෝග කළේය.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඉන් එක් ඇපකරුවකු රජයේ සේවකයකු විය යුතු බවද නියෝගයේ සඳහන් කළේය. තවත් ඇපකරුවකු විත්තිකරුවන්ගේ ළඟම ඥාතියකු විය යුතු බවත්, ඉදිරිපත් කරනු ලබන විත්තිකරුවන් තුන් දෙනාම අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බවට සහතිකයක් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවත් විනිසුරුවරයා නියෝග කළේය.
ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළ විනිසුරුවරයා සිය විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවද විත්තිකරුවන්ට නියෝග කළේය.

විත්තිකරුවන් විසින් ඉදිරිපත් කර ඇති ඇප අයැදුම්පත් විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට දන්වා සිටියේ ඇප ඉල්ලා සිටීමට බලපාන සුවිශේෂ කරුණු තිබේ නම් ඒවා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.
ඊට ප්‍රතිචාර දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා මෙම විත්තිකරුවන් දෙදෙනාට පනවා ඇති වසර 03ක සිර දඬුවමට අමතරව රුපියල් මිලියන 50ක වන්දියක් විදුලි සන්දේශ නියාමන කොමිසමට ගෙවිය යුතු බවද අධිකරණ නියෝගයේ සඳහන් වන බව සඳහන් කළේය.

ජනාධිපති නීතිඥවරයා - "ස්වාමිනී, මෙම රුපියල් මිලියන 50ක වන්දි මුදල නොගෙවන්නේ නම් අමතරව වසර 02ක සිර දඬුවමක් පනවන බව නියෝගයේ සඳහන් වෙනවා. ඒ අනුව වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් එම වසර 02ක සිර දඬුවමත් සමඟ දඬුවම් වශයෙන් නියම කර ඇති වසර තුනක සිර දඬුවමත් සමඟ සමස්තයක් ලෙස වසර 05ක සිර දඬුවම් නියම වෙනවා. එහෙත් වන්දි මුදල ගෙවන්නේ නම් ඔවුන්ට නියම වන්නේ වසර 03ක සිර දඬුමක් පමණයි." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා එම වන්දි මුදල ගෙවීමට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම සඳහා ඔවුන් ඇප මත මුදාහැරීම අවශ්‍ය බව කියා සිටියේය.
තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා මෙම විත්තිකරුවන්ට නියම කර ඇත්තේ වසර 03ක් වැනි අවම සිර දඬුවමක් යැයි ප්‍රකාශ කළේය.
ජනාධිපති නීතිඥවරයා - "ස්වාමිනී, මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 386 වැනි වගන්තිය යටතේ. ඇත්තටම මෙය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත යුතු නඩුවක්. අවාසනාවකට මෙන් එය මහාධිකරණයට පැමිණියා. විත්තිකරුවන්ට නියම වී තිබෙන්නේ වසර 03ක් වැනි අවම සිර දඬුවමක්. ඊට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. එම අභියාචනය ඉදිරි වසර 03 තුළ විභාග කොට අවසන් කිරීමට කිසිදු ප්‍රායෝගික හැකියාවක් නැහැ.

එම කරුණද සුවිශේෂී කරුණක් සේ සලකා විත්තිකරුවන් දෙදෙනාට ඇප නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ස්වාමිනී, මෙම නඩුව මීට පෙර දින 100ක් පමණ විභාග වී තිබෙනවා. ඒ හැම අවස්ථාවකම විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියා. අධිකරණය මඟහැර යාමක් සිදු කළේ නැහැ.
විත්තිකරුවන් දෙදෙනාම කීර්තිමත් රාජ්‍ය සේවකයන්. ඔවුන් අභියාචනා විභාගයට මුහුණ නොදී අධිකරණය මඟහැර පලා යයි කියා අපට විශ්වාස කරන්න බෑ."
යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා මෙම කරුණද සුවිශේෂී කරුණු ලෙස සලකන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාගේ අසනීප තත්ත්වය පිළිබඳව දැක්වෙන වෛද්‍ය වාර්තාද අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥවරයා එයද සුවිශේෂ කරුණක් සේ සලකා විත්තිකරුවන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ යොහාන් අබේවික්‍රම මහතා කියා සිටියේ ඇප නියම කිරීමේදී සුවිශේෂ කරුණු මොනවාද යන්න තීරණය කිරීමේ අභිමතය අධිකරණය වෙත පැවරෙන බවයි.

රජයේ නීතිඥවරයා - "ස්වාමිනී, සුවිශේෂ කරුණු යන්න නඩුවෙන් නඩුවට වෙනස් වන දෙයක්. එක් නඩුවකට අදාළ වන සුවිශේෂ කරුණක් තවත් නඩුවකට සුවිශේෂ කරුණක් වන්නේ නැහැ. යම් කරුණක් සුවිශේෂ වන්නේද? නැත්ද? යන්න තීන්දු කළ යුත්තේ අධිකරණයයි."
යනුවෙන් ප්‍රකාශ කළ ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ අබේවික්‍රම මහතා විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු සුවිශේෂ කරුණු ලෙස අධිකරණය පිළිගන්නේ නම් විත්තිකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ නොවන බවද සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කියා සිටියේ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තමා සුවිශේෂී කරුණු සේ පිළිගන්නා බවයි. ඒ අනුව ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කරන බවද මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon