ජේ. ආර්. කියන්නේ පුළුල් දැක්මක් තිබුණු නොබියව තීන්දු ගත් අභීත නායකයෙක්

  👤  2929 readers have read this article !
By mawbima 2017-09-20

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතා යනු නොබියව තීන්දු තීරණ ගත් අභීත නායකයෙක් බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
රටට හිතැති තීන්දු තීරණ ගැනීමේදී කිසිදු අවස්ථාවක පසුබට නොවූ එතුමා තුළ අනාගතය පිළිබඳව පුළුල් දැක්මක් තිබුණු බවද හෙතෙම පෙන්වා දෙයි.
මේ වනවිට ලෝක ආර්ථිකයේ බලවතා බවට ආසියාව පත්ව සිටින්නේ එදා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා නොබියව ලංකාවට හඳුන්වා දුන් විවෘත ආර්ථික ක්‍රමය නිසා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 111 වැනි ජන්ම දින සැමරුම් උළෙලට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

හැත්තෑවැනි දශකයේ ලෝක ආර්ථිකයේ බලවතා වූයේ ඇමෙරිකාව හා යුරෝපය යන රටවල් දෙකයි. ඒ කාලේ ඇමෙරිකාව, කැනඩාව, බටහිර යුරෝපය, සෝවියට් දේශය ලෝක ආර්ථිකයේ බලවතා බවට පත්වුණා. ආසියාවේ බලවත්ව හිටියේ ජපානය විතරයි. හමුදා බලය, ඉන්දීය සාගරයේ හා වෙනත් ප්‍රදේශවල බලය හිමිව තිබුණේ ඇමෙරිකාව හා සෝවියට් රුසියාවටයි. එදා ජපානයටත් විශාල හමුදාවක් තිබුණේ නැහැ. හමුදා බලය, ආර්ථික බලය ඇතුළු සියලුම ජාත්‍යන්තර බලය හිමිව තිබුණේ ඒ කාලේ බි්‍රතාන්‍ය හා ප්‍රංශය ආදී රටවල්වලටයි.

එහෙත් දශක තුන හමාරකින් මේ තත්ත්වය වෙනස් වෙලා. අද ආර්ථික බලය තිබෙන්නේ ආසියාවටයි. ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, අග්නිදිග ආසියාව වැනි රටවල් ගණනාවක් අද ආර්ථිකයෙන් ඉහළට පැමිණ සිටිනවා.

අද හමුදා බලය දෙස බලන විට චීනය, ඉන්දියාව, ජපානය ඉතා ශක්තිමත්. මේ ශතවර්ෂයේ මැද භාගය වනවිට ලෝකයේ ශක්තිමත් ආර්ථික බලවතා බවට පත්වන්නේ ආසියාවයි. චීනය, ජපානය, ඉන්දුනීසියාව ඒ අතර ප්‍රධාන වේ. පාකිස්තානය, බංගලිදේශය, මැලේසියාවත් ලෝක ආර්ථික බලවතුන් විසිදෙනා අතරට පත්වේවි.
එදා එතුමා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙසින් 1977 දී විශේෂයෙන්ම මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කළ යුතුයි කියන අදහස ඇතුව එම ක්‍රමය හඳුන්වා දුන්නා. එතුමා එම ක්‍රමය හඳුන්වා නොදුන්නා නම් මේ වගේ වෙනසක් ආසියාව තුළ සිදුවන්නේ නැහැ.

එතුමා මේ විවෘත ආර්ථික ක්‍රමය පිළිබඳව කතා කළේ 1977ට පෙර සිටයි. මේ පිළිබඳව විවිධ අය විවේචනය එල්ල කළා. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව යුරෝපා රටවල් සියල්ලම අද සංවර්ධනය වෙලා තිබෙනවා. ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව අද ඉන්නේ කුමන ස්ථානයේද? අපිත් එතැනට යෑමට ලෝක ආර්ථිකයට එකතුවිය යුතුයි.

අපි එදා වෙළෙඳ කලාප බිහිකරනවිට එදා කට්ටිය හිනාවුණා. අක්කර 300කින් යුක්ත කටුනායක වෙළෙඳ කලාපය ආරම්භ කරද්දී ඇතැමුන් කිව්වේ ටේලර් සාප්පුවක් ආරම්භ කරනවා කියලයි.

ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් පසුව ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මැතිතුමාත් විවෘත ආර්ථික ක්‍රමයේ වැදගත්කම දුටු නායකයෙක් වුණා. චීනය, ඉන්දියාව වාගේ රටවල් විවෘත ආර්ථික ක්‍රමයට අවතීර්ණ වීමෙන් ලබා තිබෙන දියුණුව පිළිබඳව එතුමා කතා කළා.

යුද්ධයක් තිබූ වියට්නාමය පවා අද සීග්‍රයෙන් දියුණු වෙමින් සිටිනවා. ඉදිරියේදී චීනය, ඉන්දියාව වගේම වියට්නාමයත් බලවත් රටක් වේවි යැයි මත පළකර සිටිනවා. මැලේසියාව, දකුණු කොරියාව, තායිලන්තය වැනි රටවල්ද විවෘත ආර්ථිකයට යොමුවී සිටිනවා.
ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා තීරණ ගන්න බය වුණේ නැහැ. රටට හොඳනම් තීරණ ගන්න එතුමා කිසිදු බියක් ගත්තේ නැහැ. එතුමා විධායක ජනාධිපති වී වසර දෙකක් ගත වනවිට ගත යුතු තීන්දු තීරණ සියල්ලම ගෙන අවසන් වුණා. ඒ තීරණ නිසා තමයි ආර්ථිකය ඉදිරියට ගෙනියන්න අපට හැකියාව ලැබුණේ. එතුමාට අනාගතය පිළිබඳව දැක්මක් තිබුණා.

එතුමා මේ ක්‍රමය හඳුන්වා දුන්නේ 1947 සිට ක්‍රියාත්මක වූ ආර්ථික ක්‍රම පිළිබඳව හොඳට අධ්‍යයනය කිරීමෙන් පසුවයි. එතුමාට වුවමනා වූයේ සාර්ථක ලෙස ආර්ථික දියුණුවක් ලබන්නයි. ඇඟලුම් කර්මාන්තය විතරක් නෙවෙයි එතුමා මහවැලි කලාපය ආරම්භ කරමින් මුළු සිංහලයම දියුණු කරන්න කටයුතු කළා. ජල පහසුකම් වගේම විදුලි බල සැපයුම් පවා ලබාදුන්නා. මහවැලියෙන් වී වගා කෙරුවා. සංචාරක ව්‍යාපාරය දියුණු කළා. එතුමා අනුගමනය කළ මෙම ක්‍රමය අපට හරියටම ක්‍රියාත්මක කරන්න බැරිවුණේ තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිසයි. නමුත් ඉන්දියාව වැනි ආසියාතික රටවල් එහි වාසිය ලබාගත්තා. ඒ රටවල් දියුණු වුණා.
මෙම ජන්ම දින සැමරුම් උළෙල පසුගියදා (11දා) දින සවස කොළඹ ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදී විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු මැති ඇමැතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී මුඛ්‍ය දේශනය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය විසින් 'දැනුම සුරැකීම හා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ දායකත්වය' යන තේමාව යටතේ පවත්වනු ලැබුවාය.

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර
ඡායා : මංජුල දයාවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්