විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය ඇමැති අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඔහුගේ ඇපකරුට නියෝග

  👤  3063 readers have read this article !
By mawbima 2017-09-20

හාලිඇළ - පියල් කිත්සිරි

විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඔහුගේ ඇපකරුට නියෝග කළ බදුල්ල මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන වසරේ පෙබරවාරි හයවැනිදා දක්වා කල් තැබීය.
2014 වසරේ පැවැති උෟව පළාත් සභා මැතිවරණයේදී නැඟෙනහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි නිශාන්ත මංජුල ප්‍රනාන්දු මහතාට කන්දකැටිය ගලඋඩ ප්‍රදේශයේදී පහර දී ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය උදුරා ගැනීමේ චෝදනාව මත එවකට පැවැති රජයේ සීනි කර්මාන්ත ඇමැතිවරයාව සිටි ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාට සහ ඔහුගේ ආරක්ෂකයන් වන ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් මහින්ද, ජයන්ත, ඉන්දික, අජන්ත සහ බුද්ධික යන අයට එරෙහිව මෙම නඩුව බදුල්ල පොලිසියේ අපරාධ අංශය මඟින් පවරා තිබේ.

ප්‍රධාන සැකකරු වන වත්මන් රජයේ විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී නොසිටි අතර ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමින්ද දයාවංශ මහතා ප්‍රකාශ කළේ පළමු විත්තිකරු රජයේ අමාත්‍යවරයකු බවත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් සඳහා චීනයට ගොස් ඇති නිසා අධිකරණය හමුවේ පෙනී නොසිටින බවත්ය.

මේ අතර බදුල්ල පොලිසියේ අපරාධ අංශයේ සැරයන් සමන්ත (35234) මහතා කියා සිටියේ නඩු ගොනුව වැඩිදුර උපදෙස් පතා නීතිපතිවරයා වෙත යවා ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා පළමු විත්තිකරු මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුගේ ඇපකරුට නියම කර නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන වසරේ පෙබරවාරි 2 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon