ලලිත්ගෙයි අනුෂගෙයි පෙත්සම් 2 අද විභාගයට

  👤  2898 readers have read this article !
By mawbima 2017-09-14

කේ.එස්. උදයකුමාර්

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීමට ක්‍රියා කිරීම තුළින් රජයේ මුදල් රුපියල් මිලියන 600ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය විසින් තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සම් අද (14දා) කොළඹ මහාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.
ඒ අනුව අදාළ පෙත්සම් සිල්රෙදි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
සිල් රෙදි නඩුවෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන්ට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඉකුත් 7 වැනිදා වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් මිලියන 2ක් බැගින් දඩ නියම කළේය. ඊට අමතරව එක් එක් විත්තිකරු විසින් රුපියල් මිලියන 50ක මුදලක් වන්දි වශයෙන් විදුලි සන්දේශ නියාමන කොමිසමට ගෙවිය යුතු බවද නඩු තීන්දුවේ සඳහන් විය.

එම දඬුවම් අහෝසි කර සියලු චෝදනාවලින් තමන්ව නි‍ෙදාස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් තමන් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති බව ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන වරදකරුවන් සිය ඇප අයැදුම්පත්වලින් සඳහන් කර ඇත.

මේ හේතුවෙන් තමන් ඉදිරිපත් කළ අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් දැනට සිර භාරයට පත් කර සිටින තමන්ව ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස සිරදඬුවම් ලබා සිටින ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය විසින් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම්පත්‍රවලින් ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්