ණය නිසා අසරණ වූ හබරණ ගොවියා වස බොයි

  👤  3147 readers have read this article !
By mawbima 2017-09-14

දඹුල්ල _ ධම්මික නාමල් කෝරාළ, ඉනාමළුව - තිලක විජේසූරිය, දඹුල්ල - කේ. කේ. ආරියදාස
ණය තුරුස් වී වගා කරන ලද ලොකු ලූනු වගාව නොකඩවා ඇදහැලෙන....

වර්ෂාවෙන් සම්පූර්ණයෙන් විනාශ වී යෑම නිසා සිත් තැවුලට පත් හබරණ - පුවක්පිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියකු වස පානය කර දඹුල්ල මූලික රෝහලේදී පෙරේදා (12දා) පස්වරුවේ මියගොස් ඇත.

මියගොස් ඇත්තේ කිරියාගේ ගුණරත්න යන අයයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල මූලික රෝහලේදී නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.ඩබ්ලිව්.ජේ. බණ්ඩාර මහතා ඉදිරියේ පැවැති අතර එහිදී සාක්ෂි දුන් මියගිය අයගේ බිරිය වන එස්. නිලාවතී (52) මහත්මිය දුන් සාක්ෂියේදී මේ බව අනාවරණය විය.
ඇය මෙසේ පැවැසුවාය.
මට දරුවන් දෙදෙනකු ඉන්නවා. එක දියණියක් විවාහ වෙලා ඉන්නේ නාවික හමුදාවේ සෙබළකු එක්ක. මගේ සැමියා දීර්ඝ කාලයක ඉඳන් ගොවිතැන් කරනවා. මේ වතාවේ බෑනා සමඟ එකතුවෙලා ලොකු ලූනු අක්කර 3-4ක් විතර වගා කළා. ලොකු ලූනු බීජ ටික ගත්තේ දූගේ කනකර උකස් කරලා.
වගාව ආරම්භ කරලා ටික දිනක් යනකොට ඉඩෝරය නිසා වතුර නැතිව ගියා. වළක් හාරලා වතුර පොම්ප කරලා ලූනු වගාවට සාත්තු කළා. ඒ අතරම වගාවට දිලීර රෝගයක් ආවා. ඒකට කෘමිනාශක ගන්න සල්ලි තිබ්බේ නැහැ. බෑනා ළඟත් සල්ලි තිබුණේ නැහැ. එයා වගාබිමට යන්නේ බෑනාගේ යතුරුපැදියෙන්. බෑනා කිව්වා යතුරුපැදිය උකස් කරලා සල්ලි ටිකක් අරන් කෘමිනාශක ගන්න කියලා. සැමියා හබරණ නගරයේ අයකුට යතුරුපැදිය තියලා රුපියල් 20,000ක් අරන් බෙහෙත් ගැහුවා.
ලොකු ලූනු ගහේ අලය එරී ගෙන එනවිට පසුගිය සතිය පුරාම කඩින් කඩ මහා වැසි වැටුණා. සැමියා හරිම කලකිරීමෙන් හිටියේ. එයා හැමදාම රාත්‍රිය ගතකළේ ගොවිපළේ. අලින්ගෙන් හා වෙනත් සතුන්ගෙන් වගාව රැකගන්න.

12 වැනිදා උදේ ගෙදර ඇවිල්ලා කීවා හේනට ගිහිල්ලා ලූනු වගාව බලන්න කියලා. ඊයේ වැහැපු වැස්සෙන් වගාව විනාශ වෙලා. ආයේ මම හේනට යන්නේ නැහැ කිව්වා. මමයි දුවයි දෙන්නා හේනට ගිහිල්ලා බැලුවා. ලූනු වගාව සම්පූර්ණයෙන් විනාශ වෙලා වැස්සට.
ගෙදර ආපු ගමන් සැමියා කිව්වා මම වස බිව්වා කියලා. වස පානය කළ කෝප්පයත් පෙන්නුවා. මම දුවට කතා කරලා ත්‍රීවීලරයෙන් හබරණ රෝහලට ගෙනාවා. ඊට පස්සේ දඹුල්ල රෝහලට මාරුකළා. දඹුල්ලේදී මියගිය බව දැනගත්තා. ලූනු වගාව විනාශ වී යෑම නිසා සිත් තැවුලට පත්ව මගේ සැමියා වස පානය කරන්න ඇති කියලා මම හිතනවා.

සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමෙන් මෙම මරණය සිදුව ඇති බව නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා නිගමනය කළේය.
හබරණ පොලිසිය සාක්ෂි මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්