වීරසුමනත් විසිවෙයි ඇමැතිකම, ශාන් බාරගනී

  👤  3157 readers have read this article !
By mawbima 2017-09-14

සිදත් මෙන්ඩිස්, ගාල්ල - තරිඳු භාග්‍යා විජේහේවා, වංචාවල - රුවන් නානායක්කාර, අක්මීමන - තේජා සිංහබාහු, ඉමදුව - ටී. විතානවසම්

දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන, සංස්කෘතික කලා කටයුතු, සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක, නිවාස හා ඉදිකිරීම් ඇමැති වීරසුමන වීරසිංහ මහතා ඇමැති ධුරයෙන් ඉවත් කොට එම ඇමැති ධුරය සඳහා දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින් පත්කොට ඇත.

ෂාන් විජේලාල් ද සිල්වා මහතා ඊයේ (13දා) පෙරවරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඉදිරියේ ප්‍රධාන ඇමැති ධුරයට අමතරව ක්‍රීඩා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන සංස්කෘතික කලා කටයුතු සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක නිවාස හා ඉදිකිරීම් ඇමැති ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. මෙම දිවුරුම් දීමේ අවස්ථාවට දකුණු පළාත් සභාවේ ඇමැතිවරුන් වන චන්දිමා රාසපුත්‍ර, එච්. ඩබ්ලිව්. ගුණසේන, යූ.ජී.ඩී. ආරියතිලක යන මහත්වරු එක්ව සිටියහ.
වීරසුමන වීරසිංහ මහතා මාතර දිස්ත්‍රික්කයෙන් එජනි සන්ධානය නියෝජනය කරමින් පළාත් සභාවට තේරීපත් විය. ඔහු ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි. වීරසුමන වීරසිංහ ඇමැතිවරයා ඊයේ උදෑසන පැවැති පළාත් කැබිනට් රැස්වීමටද සහභාගි වී තිබේ. එම කැබිනට් රැස්වීමෙන් පසු ඔහු ගාල්ල ලබුදුව දක්ෂිණ පායේ පිහිටි අමාත්‍යාංශයේ රැඳී සිටියදී ඇමැති ධුරයෙන් ඉවත් කළ බව දැන ගන්නට ලැබී ඇත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කළ අවස්ථාවේ වීරසුමන වීරසිංහ ඇමැතිවරයා එම පනතට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.
මට ඇමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන කනගාටුවක් නැහැ. මම දැන් වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට. මම මේ ඇමැති ධුරය තුළින් විශාල වැඩ කොටසක් කළා යැයි මේ ගැන වීරසිංහ හිටපු ඇමැතිවරයාගෙන් අප කළ විමසුමකදී පැවැසීය.

දකුණු පළාත් සභාවේ වීරසුමන වීරසිංහ හිටපු ඇමැතිවරයාගේ හිස්වුණු ඇමැති ධුරය දකුණු පළාත් සභාවේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රි රත්ගම ශ්‍රී ලනිප සංවිධායක අමරසිරි කුරුවගේ මහතාට ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් කුරුවගේ මන්ත්‍රිවරයාගෙන් විමසීමේදී ඔහු කීවේ ඔව්, මා ගැන යෝජනා වෙලා තියෙනවා. එජාපයෙනුත් මගේ නම යෝජනා කරලා තියෙනවා. බොහෝවිට එය ඒ විදියට සිදුවේවි කියායි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්