අරුන්දික මෛත්‍රි-මහින්ද හමුවෙලා

  👤  3010 readers have read this article !
By mawbima 2017-09-14

ත්‍යාගා ශ්‍රීමාලි බණ්ඩාර

නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබූ අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (13දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවී තිබේ.

හිටපු ජනාධිපතිවරයා මුණගැසී තිබුණේ පෙරේදා (12දා) රාත්‍රියේ ඒ මහතාගේ නිල නිවෙසේදීය. ඊයේ (13දා) උදෑසන ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ රැස්වීමේදීය. එම රැස්වීමේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර විනාඩි 45ක පමණ කාලයක සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී පුත්තලම ආසනය භාරගෙන ඉදිරියේදී වැඩකරන ලෙස අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට හිටපු ජනාධිපතිවරයා ආරාධනා කර ඇති අතර මන්ත්‍රිවරයා එම ආරාධනාව පිළිඅරගෙන තිබේ.

ඒ අනුව මේ සති අන්තයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම ආසනයේ සියලුම අය කැඳවා රැස්වීමක් පැවැත්වීමටද එහිදී තීරණය කර තිබේ.

ඊයේ (13දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව මුණගැසී තිබුණේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ සිටියදී භාවිත කළ නිල රථයට අදාළ ලියකියවිලි භාරදීම සඳහා යැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්