කොළඹ ගෑනු දෙන්නෙක් කෝටි 4ක රත්රන් ඉණේ ගහන් ඇවිත්

  👤  3019 readers have read this article !
By mawbima 2017-09-14

කටුනායක - ටී.කේ. ජී. කපිල

රුපියල් කෝටි 4ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම කුස ප්‍රදේශයේ සඟවා ගෙන නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ කාන්තාවන් දෙදෙනකු ඊයේ (13දා) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 41 සහ 49 වයස්වල පසුවන්නියන්ය. එක් කාන්තාවක් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඉඩම් විකිණීමේ යෙදෙන සමාගමක හිමිකාරිනියක් බව රේගුව සඳහන් කරයි.

මෙම කාන්තාවන් දෙදෙනා ඊයේ අලුයම 5.00ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මොවුන් දෙදෙනා ඔවුන් ඇඳ සිටි ඇඳුම්වලට යටින්, විශාල ඉණ පටි පැලඳගෙන, ඒවා තුළ මෙම ස්වර්ණාභරණ තොගය පැකට් 8ක් ලෙස සකසා සඟවා ගෙන පැමිණ සිටියදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම ස්වර්ණාභරණ තොගයේ බර කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 700ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසයි.
සහකාර රේගු අධිකාරිවරුන් වන නුවන් අබේනායක, රසික සමන්ජිත් සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් විසින් මේ අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මේ පිළිබඳව වැඩිදුර රේගු විමර්ශන කටයුතු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ රුවන් සත්කුමාර මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.එච්. පී. කුමාරසිරි මහතා විසින් පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්